පාර්ලිමේන්තුව නැරඹීම

පොදු තොරතුරු
ඕනෑම පුද්ගලයකුට රැස්වීම් පැවැත්වෙන හෝ නොපැවැත්වෙන දිනයක දී කණ්ඩායම් වශයෙන් හෝ තනි තනිව මහජන ගැලරියට යා හැකිය. රැස්වීම් පැවැත්වෙන ඕනෑම දිනයක රැස්වීම අවසන් වන තුරුද, රැස්වීම් නොපැවැත්වෙන දිනයක පු.භා. 9.00 සහ අ.භා. 3.30 අතරද, කාලසීමාව තුළ විනාඩි 30ක් මේ සඳහා වෙන් කරනු ලැබේ.
රැස්වීම් පවත්වන කාලය
පාර්ලිමේන්තුව අන් ආකාරයකින් තීරණය කරතහොත් මිස, සෑම මාසයකම ප්‍රථම ඉරිදායින් පසු එළඹෙන සතියේ සහ එම සතියට පසුව එළඹෙන දෙවන සතියේ අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල එනම්, මාසයක පළමු සතිය සහ තුන්වන සතිය යන සති දෙකක ඉහත සඳහන් දිනවල පාර්ලිමේන්තුව රැස්විය යුතුවේ. පාර්ලිමේන්තුව සාමාන්‍යයෙන් සෙනසුරාදා, ඉරිදා සහ අනිකුත් නිවාඩු දිනවල රැස් නොවෙන අතර පාර්ලිමේන්තුවේ රැස්වීම් සාමාන්‍යයෙන් පවත්වනු ලබන්‌නේ, අඟහරුවාදා සහ බදාදා යන දිනයන්හි ප. ව. 1.00 සිට ප. ව. 7.30 දක්වා ද, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන්හි පෙ.ව. 10.30 සිට ප.ව. 7.30 දක්වා ය. ඇතැම් දිනවල රැස්වීම් ප.ව. 7.30 න් පසුව ද පවත්වනු ලැබේ. අයවැය විවාදය පවත්වනු ලබන කාල සීමාව තුළදී රැස්වීම් වෙලාවන් සාමාන්‍යයෙන් පෙ.ව. 9.30 සිට ප.ව. 12.30 දක්වාත් ප.ව. 1.00 සිට ප.ව. 7.00 දක්වාත් වන අතර කලින් කලට වෙනස් වීමට ඉඩ තිබේ.
පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද යෝජනාවක් මගින් අදාළ ස්ථාවර නියෝග අත්හිටුවන ලදුව, වර්තමානයේ පාර්ලිමේන්තුව රැස්වන්නේ පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 දක්වා වේ.
ගැලරි සඳහා යෑමට අවසරය
මහජන ගැලරිය නැරඹීම සඳහා වේත්‍රධාරීගෙන් අවසර ලබාගත යුතුය. පාර්ලිමේන්තුවට සෘජුවම ඇමතුමක් ලබා ගැනීමෙන් හෝ විමසුම් පත්‍රිකාවක් පුරවා ඉදිරිපත් කිරීමෙන් එවැනි ඉල්ලීමක් කළ හැකිය. ඔබගේ විමසීමේ දී පහත සඳහන් තොරතුරු ලබා දිය යුතුය.
| 1. | පැමිණෙන අයගේ සම්පූර්ණ නම් හා ලිපිනයන් |
| 2. | පැමිණෙන අයගේ ජාතික හැඳුනුම්පත් අංක |
| 3. | පැමිණෙන දිනය හා වේලාව |
| 4. | පැමිණීමට හේතුව |
| 5. | ඔබට සම්බන්ධ විය හැකි තොරතුරු |
ඔබ ඉදිරිපත් කරන තොරතුරු නිසි පරිදි සකස් කිරිමෙන් පසු ඔබේ ඉල්ලීම සනාථ කිරීම සඳහා වේත්‍රධාරීවරයා ඔබ අමතා, ඉන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වීම සඳහා අවසරපත නිකුත් කරනු ඇත.
පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන අමුත්තන් සඳහා උපදෙස්
| 1. | වේත්‍රධාරි විසින් නිතුත් කරන ලද, පැමිණෙන දිනට වලංගු, පාර්ලිමේන්තුව නැරඹිමේ අවසර පතක් හිමි අයට පමණක් මහජන ගැලරියට පිවිසීමට සහ පාර්ලිමේන්තුව නැරඹිමට ඉඩ දෙනු ලබේ. එබැවින් වේත්‍රධාරි විසින් ඔබ වෙත නිකුත් කරන ලද පාර්ලිමේන්තුව නැරඹිම සඳහා වූ අවසර පත නොවරදවාම රැගෙන ආ යුතු අතර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් බැහැරව යන තෙක් එම අවසර පත සුරැකිව තබාගත යුතුය. |
| 2. |
පාර්ලිමේන්තුව නැරඹීමට අපේක්ෂා කරන අමුත්තන් හට ඒ සඳහා අවසර පත් ලබා ගැනීම පිණිස පහත සඳහන් ආකාරයට වේත්‍රධාරී වෙත අයදුම් කල හැකිය:-
|
| 3. |
අයදුම් කිරීමේදී, පාර්ලිමේන්තුව නැරඹීමට අපේක්ෂා කරන දිනය, වේලාව, පැමිණෙන පුද්ගල සංඛ්‍යාව, අයදුම් කරන්නාගේ ලිපිනය යන තොරතුරු ද, පැමිණෙන අයගේ නම සහ ජාතික හැදුනුම් පත් අංකය යන තොරතුරු ද, ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. දුරකථන අංක/ ෆැක්ස් අංක සහ විද්‍යුත් තැපැල් පහසුකම් වෙතොත් එම ලිපිනය(ඊ මේල්) යන තොරතුරු ද, ඉදිරිපත් කිරීම මගින් අයදුම් පත් සඳහා ඉක්මණින් අවසර පත් එවීම පිණිස පහසුව සැලසේ. පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා අයදුම් කිරීමේදී අදාළ ශ්‍රේණිය සදහන් කිරීම ද, අවශ්‍යය. |
| 4. | සතියේ සෑම රාජකාරි දිනයකම පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා ද, පාර්ලිමේන්තු රැස්වීම් දිනයක නම් පස්වරු 3.30 ඉක්මවා පාර්ලිමේන්තු රැස්වීම් අවසන් වන තුරුද, පාර්ලිමේන්තුව නැරඹීම සදහා අවසර දෙනු ලැබේ. සති අන්ත දිනයන්හි (සෙනසුරාදා / ඉරිදා) හෝ පෝය නිවාඩු දිනයන්හි හෝ වෙනත් රජයේ නිවාඩු දිනයන්හි හෝ පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවසර පත් නිකුත් කරනු නොලැබේ. තවද විශේෂ අමුත්තන් සදහා මහජන ගැලරි සීමා කරනු ලබන දිනයන්හිදී ද, පාර්ලිමේන්තුව නැරඹීම සදහා අවසරපත් නිකුත් කරනු නොලැබේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාර, එක් එක් මාසයේ පළමුව යෙදෙන ඉරිදාට පසුව එන සතියෙන් ආරම්භ කෙරෙමින් ඒ සතියේ අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලදී යනුවෙන් එක් එක් මාසයේ පළමු වැනි සහ තුන්වැනි සති දෙකේදී පාර්ලිමේන්තු රැස්වීම් පවත්වනු ලැබේ. එසේ වුවද, පාර්ලිමේන්තුව මගින් වරින් වර ගනු ලබන තීරණයන් ප්‍රකාරව ඉහත සඳහන් දිනයන්හි රැස් නොවීමට හෝ වෙනත් දිනයන්හි රැස්වීමට හෝ ඉඩ තිබේ. පාර්ලිමේන්තුව නැරඹීම සඳහා නිකුත් කරන ලද අවසර පත්, පෙර දැනුම් දීමකින් තොරව අවලංගු කිරීමට සිදුවන අවස්ථා ඇතිවිය හැක. එවැනි අවස්ථා වලදී හැකිතාක් දුරට ඒ බැව් අදාළ පාර්ශවයන්ට දැනුම් දීමට පියවර ගනු ලැබේ. අඟහරුවාදා සහ බදාදා යන දිනයන්හි ප. ව. 1.00 සිට ප. ව. 7.30 දක්වා ද, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන්හි පෙ.ව. 10.30 සිට ප.ව. 7.30 දක්වා ද, පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් අන්‍යාකාරයකින් තීරණය කළහොත් රැස්වීම් පැවැත්වෙන වේලාවන් වරින් වර වෙනස් වීමට ඉඩ ඇත. |
| 5. | පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මක ආරක්ෂක විධිවිධාන යටතේ, පාර්සල්,අත්බෑග්, බ්‍රීෆ්කේස්, ගමන් මලු යනාදිය ද, පොත්පත්, ලිපිලේඛන, පෑන්, පැන්සල් යනාදිය ද, වැහි කබා, කුඩ, හිස්වැසුම් යනාදිය ද, කැමරා, ජංගම දුරකථන, නෝට්පෑඩ්, විවිධ විද්‍යුත්/ ඉලෙක්ට්‍රොනික් උපකරණ/ මෙවලම් සහ උපාංග යනාදිය ද, සිගරට්, දුම්කොළ, බුලත්විට, දුම්පයිප්ප, යනාදිය හා ආහාර පාන ආදිය ද, තවද, මහජන ගැලරි තුළට රැගෙන නොයා යුතු බවට තීරණය කරනු ලබන/ හැඟෙන අන් කිසිවක් වෙතොත් ඒවාද, මහජන ගැලරි තුළට ගෙනයාම සදහා ඉඩ දෙනු නොලැබේ. එබැවින්, එවැනි දෑ රැගෙන ඒමෙන් වැලකී සිටිය යුතු අතර එවැනි කිසිවක් ඔබ සතුව වෙතොත් ඔබ පැමිණි වාහනයේ ම, තබා ඒමට කටයුතු කරන්න. |
| 6. | නිසි ඇඳුමින් සැරසී නොපැමිණෙන (එනම් කොට කලිසම්, අත් නොමැති ස්කිනි ආදී සුදුසු නොවන ඇදුම්) අමුත්තන් හට පාර්ලිමේන්තු පරිශ්‍රයට / මහජන ගැලරි තුළට ප්‍රවිශ්ඨවීමට ඉඩ සලසනු නොලැබේ. එබැවින්, මහජන ගැලරිවලට පැමිණෙන අමුත්තන් නිසි ඇදුමින් සැරසී පැමිණි සිටිය යුතුය. |
| 7. | පාර්ලිමේන්තු රැස්වීම් නැරඹීම සඳහා පැමීණෙන පාසැල් ශීෂ්‍ය ශිෂ්‍යාවන් වෙත අවසර ලබා දීමේදී, පස් වැනි (05 වැනි) වසර සහ ඉන් ඉහළ පන්තිවල සිසු සිසුවියන් සඳහා පමණක් අවසර ලබා දෙන අතර රැස්වීම් නොමැති දිනවල දී, මෙම කොන්දේසිය බල නොපවැත්වේ. පාර්ලිමේන්තු රැස්වීම් පවත්නා වේලාවන් තුළ මහජන ගැලරියට අත දරුවන් සහ ළදරුවන් කැටුව යාමට අවසර නොදෙන බැවින්, එවැනි දරුවන් වෙතොත් ගැලරිය තුළට කැටුව යාමෙන් වැළකී සිටිය යුතුය. කුඩා ළමුන් සහ කුඩා පාසැල් දරුවන් ගැලරි වල පළමු පේළියේ අසුන් ගැන්වීමට ද, ඉඩ දෙනු නොලැබේ. |
| 8. | ඉහත අංක 2 ජෙදය ප්‍රකාර පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන අමුත්තන්ගේ වාහන, ආරක්‍ෂක හේතූන් මත පාර්ලිමේන්තු පරිශ්‍රය තුලට ඇතුළු කිරීම සීමා කර ඇති බැවින්, ඔබ පැමිණෙන වාහනය පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට ධාවනය කිරීමට ඉඩදෙනු නොලැබේ. පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන අමුත්තන්ගේ වාහන නවතා තැබීම සදහා පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපස වූ ක්‍රීඩා පිටියෙන් අනෙක් පස ඇති ආපන ශාලාව පිහිටි භූමි භාගයෙහි ස්ථාපිත රථ ගාලෙහි පහසුකම් සලසා ඇති බැවින් ඔබේ වාහනය එහි ගාල් කරන්න. |
| 9. | ඉහත කී භූමියෙහි ඹබේ වාහනය ගාල් කිරීමෙන් අනතුරුව ඔබේ කණ්ඩායම සමඟ (පාසැල් නිල ඇඳුමින් සැරසී පැමිණෙන පාසැල් සිසුන්ගෙන් සමන්විත කණ්ඩායම් හැර) ප්‍රධාන පාර හරහා අවුත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුළු වී ජයන්තිපුර ආරක්ෂක පිරික්සුම් ඒකකය වෙත යන්න. |
| 10. | ජයන්තිපුර ආරක්ෂක පිරික්සුම් ඒකකයේ සේවයේ නියතු පොලිස් නිලධාරින්ට ඹබ අත ඇති අවසර පත පෙන්වා අනතුරුව ආරක්ෂක නිලධාරි මහතුන්ගේ කුටිය වෙත ගොස් ඔබ ඇතුළු පිරිස පැමිණි බව ඔවුන් වෙත දන්වන්න. ඔබ ඇතුළු පිරිස පැමිණි බවට, ඔවුන්ගේ ලේඛනයන්හි අදාළ සටහන් තැබිමෙන් පසු, ජයන්තිපුර ආරක්ෂක පිරික්සුම් ඒකකය අසළ සිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දක්වා පැමිණීම සඳහා පාර්ලිමේන්තු බස් රථයක් ආරක්ෂක නිලධාරින් විසින් ගෙන්වා දෙනු ඇත. ඉහත 2.iii ජේදය ප්‍රකාර පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණෙන අමුත්තන් හට මෙම ඒකකය මඟින් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීම සදහා අවශ්‍ය ප්‍රවේශය සලසනු ලැබේ. |
| 11. | පාර්ලිමේන්තුවට පැමිණෙන සියළුම අමුත්තන් ශාරීරික ආරක්ෂක සෝදිසි කිරීමකට ලක් කෙරෙනු ඇත. ඒ අනුව, ජයන්තිපුර ආරක්ෂක පිරික්සුම් ඒකකයේ දී ඔබ ඇතුළු පිරිස ශාරීරික ආරක්ෂක සෝදිසි කිරීමකට භාජනය කරන බැවින්, ඒ සඳහා පොලිස් නිලධාරීන් හට ඉඩ සැලසිය යුතු වේ. |
| 12. | වැසි පවතින අවස්ථාවල දී පමණක් ඔබේ වාහනය ජයන්තිපුර ආරක්ෂක පිරික්සුම් ඒකකය පිහිටි ස්ථානය දක්වා ධාවනය කිරීමට ඉඩ සලසන අතර, පැමිණෙන පිරිස එම ඒකකය අසල බැස්සවීමෙන් අනතුරව වාහනය ඉහත කී ආපන ශාලාව පිහිටි භූමි භාගයෙහි ගාල් කල යුතු වේ. |
| 13. | ශාරීරික ආරක්ෂක සෝදිසියෙන් අනතුරුව ඔබ වෙනුවෙන් පැමිණි පාර්ලිමේන්තු බස් රථයෙන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මහජන පිවිසුම දක්වා ගමන් කරන්න. පයින් ගමන් කිරිමෙන් වැළකිය යුතු අතර, සපයා ඇති බස් රථයෙන් පමණක් ගමන් කිරීමට වග බලා ගන්න. |
| 14. | මහජන පිවිසුම අසල දී බස් රථයෙන් බැසිය යුතු අතර, එම ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පිවිසීම සඳහා ඔබ ඇතුළු පිරිස මහජන පිවිසුම් ද්වාරය වෙත යොමු කරනු ඇත. |
| 15. | ඉහත කී ද්වාරය අසල දී නැවත ශාරීරික ආරක්ෂක සෝදිසි කිරීමක් සිදු කෙරෙන අතර එබැවින්, පිරිමි පාර්ශ්වය දකුණු පසින් හා කාන්තා පාර්ශ්වය වම් පසින් වන සේ පෝලිම් දෙකක් වශයෙන් පෙළ සෑදීමෙන් පිරික්සුම් කටයුතු පහසු වන අතර ඔබේ කණ්ඩායමේ ප්‍රධානියා විසින් ඹහුගේ/ ඇයගේ ජාතික හැදුනුම්පත සහ වේත්‍රධාරි විසින් නිකුත් කර ඇති අවසර පත එම ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් වෙත ඉදිරිපත් කළ යුතු වේ. |
| 16. | ඔබට, මහජන පිවිසුම් ද්වාරයෙන්, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පිවිසිය හැකි අතර, බටහිර පියගැට පෙළ ඔස්සේ මහජන ගැලරිය දක්වා ගමන් කිරීම සඳහා අවසර දෙනු ලැබේ. පාර්ලිමේන්තු පොලිස් නිලධාරින් සහ පාර්ලිමේන්තු ආරක්‍ෂක නිලධාරින් විසින් ඔබ එම මාර්ගයට යොමු කරවන අතර ඉන් බැහැර ප්‍රදේශවලට ගමන් කිරීම සපුරා තහනම් බැවින් එසේ ගමන් නොකිරීමට වගබලා ගත යුතු ය. ගැලරි පිවිසුම් ද්වාරය අසලදී නැවත ඔබ ශාරිරික ආරක්‍ෂක සෝදිසි කිරීමට යොමු කරනු ලබන අතර ඒ සඳහා ඔබගේ සහයෝගය ලබා දිය යුතු වේ. |
| 17. | පියගැට පෙළ ඔස්සේ ගමන් කිරීමේ දී, ප්‍රවේශම් විය යුතු අතර විශේෂයෙන්ම, ඔබ සමග පැමිණෙන පාසැල් දරුවන් හා අනෙකුත් දරුවන් සංයමයෙන් හා ප්‍රවේශමෙන් යුතුව ගමන් කරන බවට ඔබ විසින් වග බලා ගත යුතුය. |
| 18. | මහජන ගැලරියේ සිටින විට මෙන්ම, ගොඩනැගිල්ල තුළ කවර ස්ථානයක හෝ සිටින විටදී ද, පූර්ණ නිශ්ශබ්දතාව රැක ගත යුතු වේ. සෑම විටකදී ම, ආයතනික කටයුතු වලට බාධා නොවන පරිදි නිහඬව සිටිය යුතු අතර විනීතව හැසිරීමටත්, මහජන ගැලරිවල හෝ ආයතනයේ වෙනත් ස්ථාන වල හෝ සවිකර ඇති ශ්‍රවණ උපකරණ සහ වෙනත් උපකරණ ආදියට හානි නොවන පරිදි හැසිරීමටත් ඔබ විසින් වග බලා ගත යුතුය. |
| 19. | මහජන ගැලරියේ සිටින විට දුම්බීම, කථා බස් කිරීම, අත්පොළසන් දීම, විවිධ ප්‍රීති ඝෝෂා පැවැත්වීම, විවිධ ශබ්ද නැගීම, කෙළි කවටකම් හා උසුළු විසුළු කිරීම, එහා මෙහා ඇවිදීම, සිටගෙන සිටීම,කෙළි සෙල්ලම් කිරීම,ඉඟි බිඟි පෑම, සභා ගර්භය තුළට එබී බැලීම හා ඇඟිලි හෝ අතපය හෝ වෙනත් දෑ හෝ දිගු කිරිම, විවිධ දෑ සභා ගර්භය තුළට විසි කිරීම, ගරු මැති ඇමතිවරුන්ට අත වැනීම හා සංඥා කිරීම, නිදා ගැනීම, සටහන් ලියා ගැනීම, පොත්පත් කියැවීම යනාදිය සපුරා තහනම් වේ. |
| 20. | මහජන ගැලරිය තුල සිටින විට දී, ආරක්ෂක වැටවල් උඩින් පැණීම හා පුවත්පත් ගැලරිවල අසුන් ගැනීම නොකළ යුතු අතර මහජන ගැලරියේ සේවයේ නියුතු පාර්ලිමේන්තු ආරක්‍ෂක නිලධාරී හෝ පොලිස් නිලධාරී හෝ විසින් නියම කරනු ලබන ස්ථානවල වාඩි විය යුතුය. සභා ගර්භය තුළ යම් නොසන්සුන් අවස්ථාවක් ඇතිවුවහොත් මහජන ගැලරිවල සිටින පිරිස් ඉන් බැහැර කිරීමට අවස්ථාවෝචිත පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු ආරක්‍ෂක නිලධාරීන් / පොලිස් නිලධාරීන් වෙත උපදෙස් දී ඇත.එබැවින් ඔබ ඊට අවනත විය යුතුය. |
| 21. | ඉහත සදහන් විධිවිධානයන්ට අනුකූලව කටයුතු නොකරන පුද්ගලයන් හෝ පිරිස් හෝ වෙතොත් ඔවුන් පාර්ලිමේන්තු පරිශ්‍රයෙන්/ ගැලරිවලින් වහා ඉවත් කිරිමට පාර්ලිමේන්තු ආරක්‍ෂක නිලධාරීන්/ පොලිස් නිලධාරීන් විසින් කටයුතු කරනු ඇත. |
| 22. | මහජන පිවිසුම පිහිටි ප්‍රදේශය ඔස්සේ නිතර වාහන ධාවනය වන බැවින් ගැලරියේ සිට මහජන පිවිසුම වෙත ආපසු පැමිණීමෙන් අනතුරුව, ඔබගේ හා ඔබේ කණ්ඩායමේ ප්‍රවේශම සම්බන්ධව වග බලා ගැනීම අත්‍යවශ්‍ය ය. මහජන පිවිසුමේ සිට ආපසු ජයන්තිපුර පිරික්සුම් ස්ථානය දක්වා ගමන් කිරීම පිණිස ඔබ ඇතුළු පිරිස වෙනුවෙන් යොදවා ඇති බස් රථය පැමිණෙන තෙක් සන්සුන්ව සිටින ලෙස ඔබගේ පිරිසට උපදෙස් දෙන්න. විශේෂයෙන්ම, ඔබ කැටුව පැමිණි කණ්ඩායමට අයත් දරුවන් ඔබ මොබ යාමෙන් වලක්වා ගැනීම අත්‍යවශ්‍ය ය. |
| 23. | දියවන්නා ඔයේ ඉවුරු අසළ එක් රොක් වීම අන්තරාදායක වේ. එබැවින් ඔබේ කණ්ඩායමට අයත් දරුවන් මෙන්ම, සෙසු පිරිස ද, එම ඉවුරු ආසන්නයේ රැදී නොසිටින බවට තරයේ වග බලා ගන්න. |
| 24. | පාර්ලිමේන්තුව නරඹා පිටව යන මහජනතාවගේ පහසුව තකා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මහජන පිවිසුමේ ද, පාර්ලිමේන්තුව ඉදිරිපස පිහිටි ක්‍රීඩාංගනයට ඔබ්බෙන් පිහිටි ආපන ශාලා පරිශ්‍රයේ ද, සමරු භාණ්ඩ අළෙවි සැල් ස්ථාපිතය. ඔබට අවශ්‍ය සමරු භාණ්ඩ එහිදී මිළදී ගත හැක. |
| 25. | පාර්ලිමේන්තු සංකීර්ණයේ මහජන පිවිසුමේදී, සමරු භාණ්ඩ මිළදී ගැනීමට ඔබ අදහස් කරන්නේ නම් මුදල් නෝට්ටු පමණක් රැගෙන එන ලෙසත්, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට මාරුකාසි රැගෙන ඒමෙන් වලකින ලෙසත් දන්වනු කැමැත්තෙමි. |
වාහන ඇතුළු කිරීම, ගාල් කිරීම ඇතුළු අනෙකුත් කරුණු සම්බන්ධව අනුගමනය කල යුතු විශේෂ විධි විධාන
ඉහත අංක 2. ජේදය ප්‍රකාර අවසර ලබා ගෙන හෝ ඉඳුරාම පාර්ලිමේන්තුව නැරඹීම සඳහා හෝ පැමිණෙන පාසැල් ළමුන් හා අනෙකුත් අමුත්තන් පැමිණෙන වාහන පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපස වූ ක්‍රීඩා පිටියෙන් අනෙක් පස ඇති ආපන ශාලා පරිශ්‍රයෙහි පිහිටි රථ ගාලට ඇතුළු කළ යුතු වේ. එසේ ඇතුළු කිරීමට පෙර, පාර්ලිමේන්තුව නැරඹීම සඳහා ලබාගත් පූර්ව අවසර පත්‍රයක් ඇත්නම් එය එම ස්ථානයෙහි පිහිටි පොලිස් මුරපොලෙහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු වේ. එසේ නොමැති නම් තම අනන්‍යතාව තහවුරු කළ යුතු වේ. එසේ කිරීමෙන් පසු පමණක් තම රථය එම රථගාල තුළට ධාවනය කළ හැක.
පාසැල් නිල ඇඳුමින් සැරසී සිටින පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැගත් බස්රථ හැර අනෙකුත් වාහන වලින් පැමිණි අමුත්තන් ඉහත අංක 9 ජේදය ප්‍රකාර ජයන්ති පුර ආරක්‍ෂක පිරික්සුම් ඒකකය වෙත යා යුතුය. එම ස්ථානයේදී ඔවුන් ශාරීරික ආරක්ෂක සෝදිසියට ලක් කරනු ලබන අතර ඒ සදහා එම ආරක්‍ෂක අංශ වෙත ඔබගේ සහයෝගය ලබා දිය යුතුය.
පාසැල් නිල ඇඳුමින් සැරසී පැමිණෙන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැගත් බස්රථ, අදාළ පොලිස් නිලධාරින් විසින් මෙම රථ ගාලෙහි සිට ශාරීරික ආරක්‍ෂක පරීක්‍ෂාවට භාජනය කිරීම සඳහා නියමිත ස්ථානය වෙත යොමු කරනු ඇත. එම ස්ථානයේදී පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද, ඔවුන් කැටුව පැමිණි ගුරුවරුන් හා දෙමව්පියන් ද, ශාරීරික ආරක්‍ෂක පරීක්‍ෂාවකට භාජනය කරන අතර පැමිණි බස්රථය ද, ආරක්ෂක සෝදිසියට ලක් කරනු ලැබේ. අනතුරුව, අදාළ උපදෙස් ලබා දීමෙන් පසු, එම පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ඔවුන් කැටුව පැමිණි පිරිස ද, එම බස්රථයට නැවත යොමු කරනු ලබන අතර කැටුව යාම පිණිස පොලිස් නිලධාරියකු ද, සමග එම බස්රථය ජයන්තිපුර ආරක්ෂක පිරික්සුම් ඒකකය ඔස්සේ අදාළ ආරක්‍ෂක පරීක්‍ෂාවට හා සටහන් තබාගැනීමට යටත්ව, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මහජන පිවිසුම වෙත යොමු කරනු ලැබේ. මේ සඳහා පොලිස් නිලධාරීන්ට සහ පාර්ලිමේන්තු ආරක්‍ෂක නිලධාරීන් හට තම උපරිම සහයෝගය ලබා දිය යුතුය.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මහජන පිවිසුම අසලදී, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ සෙසු පිරිස බැස්සවීමෙන් පසු එහි පැමිණි පොලිස් නිලධාරියා ද කැටුව, බස් රථය නැවත ජයන්තිපුර ප්‍රධාන පිවිසුම හරහා ඉහත කී රථගාල වෙත යොමු කරන අතර ආපසු කැඳවන තෙක් එහි ගාල් කර තැබිය යුතු වේ. එම රථගාලේ දී නිකුත් කරනු ලබන වාහන ටෝකන් පතෙහි එක් කොටසක් රියදුරු භාරයේ ද, අනෙක් කොටස පැමිණි කණ්ඩායම භාරව පැමිණි විදුහල්පති හෝ භාරකාර ගුරුභවතා හෝ භාරයේ තබා ගත යුතුය. කිසිදු හේතුවක් මත මෙම බස්රථ පාර්ලිමේන්තු පරිශ්‍රයේ හෝ පැමිණෙන මාර්ගය දෙපස හෝ ගාල් කිරීම සපුරා තහනම් වේ.
පාර්ලිමේන්තුව නරඹා මහජන පිවිසුම වෙත නැවත පැමිණි පසු එකී ටෝකන් පත්‍රය උපයෝගී කර ගෙන, මහජන පිවිසුමේ රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් විසින් ඔබගේ බස් රථය එම ස්ථානයට ගෙන්වා දීමට පියවර ගනු ලැබේ. එසේ පැමිණීමේදී පොලිස් නිලධාරියකු කැටුව ජයන්තිපුර ආරක්ෂක පිරික්සුම් ඒකකය හරහා අදාළ ආරක්ෂක පරීක්‍ෂාවන් හා සටහන් තබාගැනීමේ කටයුතු වලට යටත්ව, එම බස් රථ මහජන පිවිසුම වෙත යොමු කරනු ලැබේ.
එම බස්රථ පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටව යාමේදී, කැටුව පැමිණි පොලිස් නිලධාරියා ද, සමඟ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ඔස්සේ ධාවනය කළ යුතු අතර එම පිවිසුමේ දී, කැටුව පැමිණි පොලිස් නිලධාරියා බස්රථයෙන් බැසීමෙන් පසු පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් බැහැරට ධාවනය කළ යුතුය.
කිසියම් අමුත්තකු පාර්ලිමේන්තුවට පිවිසීමේදී, ජයන්තිපුර පිවිසුම හැර වෙනත් පිවිසුමක් භාවිත කිරීම සපුරා තහනම්ය. තවද, කිසියම් අමුත්තකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයතු හෝ කැටුව පැමිණෙන්නේ නම් ඔවුන් ද, ජයන්තිපුර පිවිසුම පමණක් උපයෝගී කරගත යුතුය. තම අනන්‍යතාව තහවුරු කිරීමෙන් හා ශාරීරික ආරක්‍ෂක පරීක්‍ෂාවෙන් පසුව, තමන් කැටුව පැමිණි රථය හෝ පාර්ලිමේන්තු කෙටි ධාවන බස්රථ සේවාව හෝ උපයෝගී කරගෙන මහජන පිවිසුම දක්වා ගමන් කළ හැකිය. මෙම අමුත්තන් පාර්ලිමේන්තුවේ වෙනත් පිවිසුම් වෙත යාම සපුරා තහනම් වේ.
පූර්ව අවසරයක් නොමැතිව ඉඳුරාම පාර්ලිමේන්තුව නැරඹීම සදහා පැමිණෙන අමුත්තන්ට සහ පාසැල් නිල ඇඳුමින් සැරසී පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විත කණ්ඩායම්වලට ද, ඉහත සදහන් විධිවිධානයන්ට යටත්ව පාර්ලිමේන්තුවේ මහජන පිවිසුම දක්වා පැමිණිය හැකි අතර අනතුරුව, තම අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එම ස්ථානයේ මහජන පිළිගැනීම් කවුන්ටරයෙන් පාර්ලිමේන්තුව නැරඹීම සදහා කහ වර්ණයෙන් යුතු විශේෂ අවසර පත්‍රයක් ලබා ගත හැකිය. පූර්ව අවසරය ලබා ගෙන පැමිණෙන අමුත්තන් හා පාසැල් ළමුන් සදහා නිකුත් කරනු ලබන්නේ සුදු වර්ණයෙන් යුත් අවසර පත්‍රයකි.
මෙම අවසර පත්‍ර උපයෝගී කරගෙන පාර්ලිමේන්තු ගැලරියෙන් පරිබාහිර කිසිදු ස්ථානයක් වෙත යාම සපුරා තහනම් වේ.
පාර්ලිමේන්තුවට පැමිණෙන රජයේ නිලධාරීන් සඳහා උපදෙස්
විවිධ රාජකාරි අවශ්‍යතාවන් සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන රජයේ නිලධාරීන් හට පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළු වීම සඳහා අවසර දීම සම්බන්ධිත විධිවිධාන, ආරක්ෂක විධිවිධාන සහ පහසුකම්
| 1. |
රාජ්‍ය නිලධාරීන් පැමිණෙන වාහන පාර්ලිමේන්තු සංකීර්ණය තුළට ධාවනය කිරීම
|
| 2. |
වර්ණ තාවකාලික අවසර පත් නිකුත් කිරීම සහ රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට යොමු කිරීම සහ ආරක්ෂක විධිවිධාන
|
| 3. |
ජංගම දුරකථන, ලැප්ටොප්/ටැබ්ලට්/අයිපෑඩ් හා වෙනත් විද්‍යුත් උපකරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට රැගෙන ඒම පිණිස අවසර දීම
|
| 4. |
රාජ්‍ය නිලධාරීන් විවිධ රාජකාරිමය අවශ්‍යතාවන් සඳහා පාර්ලිමේන්තුවට පැමිණීම හෝ අවසර පත් ලබාගැනීම හෝ සම්බන්ධව තොරතුරු ලේඛන එවීම
|
| 5. |
කාරක සභා/ සාකච්ඡා සඳහා සහභාගි වන නිලධාරීන් කල්වේලා ඇතිව පාර්ලිමේන්තුව වෙත පැමිණීමේ අවශ්‍යතාව
|
| 6. |
නිල කටයුතු සඳහා පාර්ලිමේන්තුව වෙත නිතර පැමිණෙන රාජ්‍ය නිලධාරීන්ගේ පහසුව සැලසීම පිණිස වාර්ෂික/ දෛනික ප්‍රවේශ අවසර පත් නිකුත් කිරීම
|
| 7. |
රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරිය හෝ රාජකාරි පදනම යටතේ මහජන ගැලරිය හෝ පරිහරණය
|
| 8. |
අමාත්‍යාංශ නිලධාරීන් විසින් අමාත්‍ය කාමර පරිහරණය
|
| 9. |
අමාත්‍යාංශවලට අයත් හෝ අමාත්‍යාංශ මගින් යොමු කරනු ලබන හෝ මාධ්‍ය කණ්ඩායම්
|
| 10. |
කාරක සභා කාමර වෙන් කර ගැනීම
|
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම







