01

E   |   த   |  

2025-09-02

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතන පහක කාර්ය සාධනය විමසයි

  • ජාතික සැලැස්මක් අනුව කර්මාන්ත සඳහා ඉඩම් ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් පිළිබඳව පුළුල් අවධානය
  • වසර 192ක් පැරණි බී.සී.සී. සමාගමේ නිෂ්පාදන සඳහා පළමුවරට තත්ත්ව සහතික

 

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධනය සහ ඒ යටතේ ඇති ආයතන පහක කාර්ය සාධනය විමසා බැලීම සිදුකෙරිණි. 

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරු ද මෙම රැස්වීමට සහභාගී වූහ.

මේ අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2023 සහ 2024 වර්ෂවලට අදාළ කාර්ය සාධන වාර්තාව සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2022 සහ 2023 වසරවලට අදාළ වාර්ෂික වාර්තාව, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ 2023 වසරට අදාළ වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ 2021, 2022 සහ 2023 වසරවලට අදාළ  වාර්ෂික වාර්තා,   බීසීසී ලංකා ලිමිටඩ් ආයතනයේ 2021/2022 සහ 2022/2023 වසර සඳහා වාර්ෂික වාර්තා හා ජාතික ලුණු සමාගමේ 2021/2022 සහ 2022/2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා හා ගිණුම් මෙසේ සළකා බැලීමෙන් අනතුරුව අනුමතිය ලබාදීම සිදුවිය.

මෙහිදී මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා පවතින ගැටලු පිළිබඳව අවධානය යොමු වූ අතර කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරිය පෙන්වා දුන්නේ පෙර සිට පැවතෙන ක්‍රමවේදය අනුව ආයෝජකයන්ට ඉඩම් ලබාදීම ඇතුළු ගැටලු රැසක් පවතින බවයි. මේ අනුව නව කර්මාන්ත සඳහා ආයෝජකයෙක්හට ඉඩමක් ලබාදීමට වසර 4කට වැඩි කාලයක් ගතවන බව ඇය පෙන්වා දුන්නාය. අන්තර්ජාතික සංකල්ප අනුව සාමාන්‍යයෙන් රටක භූමි ප්‍රමාණයෙන් 3%ක් කර්මාන්ත සඳහා වෙන් වුවද ශ්‍රී ලංකාවේ මෙම අගය 0.01%ක් බව ද ලේකම්වරිය පැවසුවාය.

මීට පෙර ජාතික සැලැස්මකට අනුව කර්මාන්ත සඳහා ගැළපෙන ඉඩම් ලබාදීමට කටයුතු නොකර දේශපාලනමය හෝ වෙනත් හේතු නිසා ඉඩම් ලබාදීම හේතුවෙන් විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවී ඇති බවත් මෙහිදී සාකච්ඡා විය. මේ අනුව දිවයිනපුරා පිහිටා ඇති කර්මාන්තවලට ගැළපෙන ඉඩම් අක්කර 50000ක් වෙන් කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.   මේ අනුව මේ පිළිබඳව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු අදාළ ආයතන සාකච්ඡා කොට ගත හැකි පියවර සහ ඉදිරි සැලැස්ම පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී. 

මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ වත්මන් කාර්ය සාධනය සහ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඉදිරියේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ  මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බව ද නිලධාරීහු පැවසූහ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ ව මෙහිදී අවධානය යොමුවිය. මෙරට අපනයනය ප්‍රවර්ධනය හා සංවර්ධනය සඳහා පවතින එකම ආයතනය මෙය බවත් ඇඟලුම්, තේ, රබර්, කුළුබඩු, තොරතුරු තාක්ෂණික, මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු ක්ෂේත්‍රවලට අදාළ ඉදිරි වසර 5 ට අදාළ සැලසුම් සකස් කර ඇති බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ. මෙරට අපනයනයන වැඩිම ප්‍රමාණයක් සිදුකරන ඇමරිකාවේ බදු ප්‍රතිපත්තිය මනා ලෙස කළමනාකරණය කර ගනිමින්  ඊට මුහුණ දීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවත් 2023 වසර වන විට ඇ.ඩො බිලියන 15 කට ආසන්න අපනයන ආදායම 2028 වසර වන විට ඇ.ඩො බිලියන 28 දක්වා වැඩිකිරීමේ ඉලක්කයක් සහිතව කටයුතු කරන බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු පැවසූහ.   

එසේම ජාතික ලුණු සමාගමේ නිෂ්පාදන කටයුතු ඉහළ කාර්යක්ෂමතාවකින් යුතුව සිදුකරන බව නිලධාරීහු පැවසූහ. දේශගුණික තත්ත්වයන්වල වෙනස නිසා පසුගිය කාලයේ ස්වභාවික ලුණු නිෂ්පාදනය අඩුවීමක් සිදුවූ බවත් ඔවුහු පෙන්වා දුන්හ. ඒ අනුව ස්වභාවික ක්‍රියාවලිය වෙනුවට නවීන තාක්ෂණයෙන් කෘතිමව ලුණු නිෂ්පාදනය කිරීමේ  ලේවායක් අලිමංකඩ ප්‍රදේශයේ සෑදිමට සැලසුම් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.  ජාතික ලුණු සමාගමේ මෙම වසරේ ඉලක්ක අදායම රු.බිලියන 1ක් බවත් එය පසුගිය වසරට සාපේක්ෂව 50%ක වැඩිවීමක් බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.

එසේම බීසීසී ලංකා ලිමිටඩ් ආයතනය උසස්ම තත්ත්වයේ පොල්තෙල් නිෂ්පාදනය කරන වසර 192ක් පැරණි ආයතනයක් වුවද  තත්ත්ව සහතික ලබාගෙන නොතිබූ බවත් එහි වත්මන් සභාපතිවරයා කාරක සභාවට පැවසීය. මෙම තත්වය හමුවේ අපනයන අවස්ථා බොහෝමයක් අහිමිවී ඇති බවත් මේ අනුව SLS, ISO ඇතුළු තත්ත්ව සහතික ලබා ගැනීමට කඩිනම් පියවර ආරම්භ කර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. 

මෙම කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ අනුරාධ ජයරත්න, සිවඥානම් ශ්‍රීතරන්,  නීතිඥ නිලන්ති කොට්ටහච්චි, කන්දසාමි ප්‍රභූ, විජේසිරි බස්නායක, සුරංග රත්නායක සහ  තිළිණ සමරකෝන් යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.




සම්බන්ධිත පුවත්

2026-10-27

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනේ

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු කරන ලදී.ඒ, එම විශේෂ කාරක සභාව එහි සභාපති, ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය නියෝජනය කරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තාහිර් මරික්කාර් මහතා ද, නව නිදහස් පෙරමුණ නියෝජනය කරමින් නුවන් බෙල්ලන්තුඩාව මහතා ද, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ද සිය පක්ෂවල අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් එක් එක් දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මුනීර් මුලාෆර් සහ නීතිඥ සුනිල් වටගල මෙන්ම කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර්, ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි සහ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.


2026-10-27

පාර්ලිමේන්තු කාරක සභා සඳහා තරුණ නියෝජිතයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරේ

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලද “Voice to Policy” වැඩමුළු මාලාවේදී ඉදිරිපත් වූ තරුණ ප්‍රජාවගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තු කාරක සභා වෙත ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා තරුණ නියෝජිතයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඒ අනුව, අදාළ සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති රැස්වීමකදී මේ පිළිබඳව අවධානය යොමු විය.විවෘත පාර්ලිමේන්තු සංකල්පය ප්‍රවර්ධනය කිරීම සහ පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තරුණ ප්‍රජාවගේ සහභාගීත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “Voice to Policy” වැඩමුළු ගම්පහ, මඩකලපුව සහ මහනුවර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පසුගිය කාලයේදී පැවැත්විණි.එම වැඩමුළුවලදී තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලද පොදු ගැටලු, අදහස් හා ප්‍රතිපත්තිමය යෝජනා පිළිබඳව අදාළ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මෙම රැස්වීමට සහභාගී වූ තරුණ නියෝජිතයෝ කරුණු ඉදිරිපත් කළහ.එහිදී, තරුණ ප්‍රජාව විසින් හඳුනාගනු ලබන ගැටලු සහ ඒවාට අදාළ විසඳුම් යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සඳහා යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම, අදාළ විෂයයන් සම්බන්ධයෙන් තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ සම්බන්ධ වී සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.තරුණ ප්‍රජාවගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තු ක්‍රියාවලිය සමඟ සම්බන්ධ කිරීම තුළින් ජනතා සහභාගීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වේ.මෙම රැස්වීමට සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සහ “Voice to Policy” වැඩමුළු මාලාව සඳහා සහයෝගය ලබා දෙන CII (Coalition for Inclusive Impact) ආයතනයේ සහ NDI (National democratic Institute) ආයතනය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. 


2026-10-22

ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සංශෝධනයට යටත්ව, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ඔක්. 20) රැස්වූ කාරක සභාවේදී මෙම පනත් කෙටුම්පතේ විධිවිධාන සහ යෝජිත සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලබාදීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම නියාමනය කිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම මෙම පනත් කෙටුම්පතේ මූලික අරමුණ වේ. එමෙන්ම, සුනඛයන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම, ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ජාතික හා ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සහ දැනට ක්‍රියාත්මක වන (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කර නව නීතිමය රාමුවක් හඳුන්වාදීම ද මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු වේ.පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවේදී සුනඛයන්ට ජලභීතිකා එන්නත ලබා දීමේ වයස් සීමාව සම්බන්ධයෙන් පවතින පරස්පරතා ඉවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු විය. එහිදී සුනඛයන්ට පළමු ජලභීතිකා එන්නත ලබා දිය යුතු වයස සම්බන්ධ විධිවිධාන පැහැදිලිව දැක්වීමේ වැදගත්කම සාකච්ඡා කෙරිණි.වීදි සුනඛයන්ට ස්වේච්ඡාවෙන් ආහාර ලබාදෙන, රැකවරණය සලසන හෝ ප්‍රතිකාර සඳහා උපකාර කරන පුද්ගලයන්ගේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය. එවැනි පුද්ගලයන් ස්වේච්ඡාවෙන් සුනඛයන්ට උපකාර කිරීම පමණක් හේතුවෙන් ඔවුන්ගේ නීත්‍යනුකූල හිමිකරුවන් ලෙස සැලකීම හෝ සුනඛ හිමිකරුවන්ට අදාළ සියලු වගකීම් ඔවුන් මත පැවරීම වැළැක්වීම සඳහා විධිවිධාන පැහැදිලි කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා කෙරිණි.සුනඛ වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ අතර, එය පශු වෛද්‍ය අධීක්ෂණය යටතේ ශල්‍යකර්ම මඟින් සිදු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. හෝමෝන එන්නත් භාවිතය ඇතුළු විකල්ප ක්‍රම සම්බන්ධයෙන් පවතින ගැටලු සැලකිල්ලට ගනිමින්, සත්ව සුභසාධනය තහවුරු වන පරිදි අදාළ විධිවිධාන සකස් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.සුනඛයන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සහ එම වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් පනවා ඇති දඩ මුදල් සංශෝධනය කිරීමේ යෝජනා ද සාකච්ඡා කෙරිණි. වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කරන මධ්‍යස්ථාන නියාමනය ශක්තිමත් කිරීම, එම මධ්‍යස්ථානවල වගකීම් පැහැදිලි කිරීම සහ සත්ව හිංසනය වැළැක්වීම සඳහා අදාළ දඩ මුදල් හා දඬුවම් සංශෝධනය කිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි සැක කරන සුනඛයන් නිරීක්ෂණය කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම සහ පශු වෛද්‍ය පරීක්ෂණ මත පදනම්ව තීරණ ගැනීමේ වැදගත්කම ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික හා ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීමේදී ඒවායේ සංයුතිය, වගකීම් සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. නීතිමය කටයුතු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය සහ අදාළ විශේෂඥ ආයතනවල දායකත්වය ලබාගැනීමේ වැදගත්කම ද අවධානයට යොමු විය.මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, චන්දන සූරියආරච්චි, ධර්මප්‍රිය විජේසිංහ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර, වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.


2026-10-22

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානයට

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුත් සහ විධිමත් ක්‍රමවේදයක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර සහ නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ඔක්. 20) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, නිමල් පලිහේන, හර්ෂණ රාජකරුණා, විජේසිරි බස්නායක, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු, තිලිණ සමරකෝන්, අජිත් අගලකඩ, සුනිල් රාජපක්ෂ, චම්පික හෙට්ටිආරච්චි සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය, එහි පවතින ප්‍රමිතීන් සහ වැඩිදියුණු කළ යුතු අංශ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී ප්‍රසම්පාදන කටයුතුවලදී මතුවන ප්‍රමාදයන්, ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ ගැටලු, නීතිමය රාමුවේ පවතින අඩුපාඩු සහ ඩිජිටල් පද්ධති භාවිතයේදී මතුව ඇති අභියෝග පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්ම ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී පවතින ප්‍රමාදයන් අවම කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ප්‍රසම්පාදන කමිටුවල මූල්‍ය සීමාවන් ඉහළ නැංවීම, නැවත නැවත සිදුකරන මිලදී ගැනීම් සඳහා දිගුකාලීන රාමුගත ගිවිසුම් ක්‍රමවේදය හඳුන්වාදීම සහ ක්ෂේත්‍රයට විශේෂිත වූ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකස් කිරීම සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් විය. එමෙන්ම ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය දීර්ඝ කාලීනව විධිමත් කිරීම මගින් සිදුවන ප්‍රමාදයන් අවම කර වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව විසින් අවධාරණය කරන ලදි.රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක PROMIS (Procurement Management Information System) පද්ධතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. දැනට අමාත්‍යාංශ 19ක් ඇතුළුව සක්‍රීය ප්‍රසම්පාදන ඒකක 394ක්  ආවරණය වන පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලීන් නිරීක්ෂණය කිරීම සඳහා මෙම පද්ධතිය භාවිත කෙරෙන අතර, 2027 වසර වන විට පළාත් සභා සහ සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු ඇතුළත් වන පරිදි එය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ද සාකච්ඡාවේදී සඳහන් විය.මෙම ඩිජිටල් පද්ධතිය සංවර්ධනය කිරීමේදී මතුවූ ප්‍රමාදයන් සහ පෙර ගිවිසුම්කරුවා සමග පැවති එකඟතාව  අවසන් කිරීමට සිදුවීම පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි. නව සංවර්ධකයෙකු තෝරාගැනීමේ තාක්ෂණික ඇගයීම් අවසන් කර ලෝක බැංකුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවත්, පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5 ක ප්‍රදානයක් හිමිවන බවත් මෙහිදී සඳහන් විය.තවද, දැනට පවතින ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා චක්‍රලේඛ බලාත්මක කිරීම  සහ සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල කිරීම, අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල අදහස් ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් සහ කෙටුම්පත සංශෝධනය කිරීමේදී මතුවූ ගැටලු ඒ අතර විය.ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු සහ ඒවා ලබාගන්නා සමාගම්වල ප්‍රතිලාභී අයිතිය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම (පෙර අසාදු ලේඛනගත කළ සමාගමක්ද යන වග), සහ අභියාචනා සම්බන්ධ ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ පවතින පරිපාලනමය හා තාක්ෂණික බාධා අවම කරමින් රාජ්‍ය මුදල් කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා අදාළ ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මීට අමතරව, මෙහිදී 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ ඉදිරිපත් කළ යෝජනාව සහ 2026 වසරට අදාළ අංක 06 දරන පරිපූරක ඇස්තමේන්තුව (ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන ණය යෝජනා ක්‍රමය) කාරක සභාවේදී සාකච්ඡා කර අනුමත කරන ලදී. එහිදී පොරොත්තු ලේඛනයේ සිටින ණය අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් මෙම ණය ලබාදීම සිදුකරන බව නිලධාරීන් පැවසූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks