ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය විවාද කිරීම ලබන අගෝස්තු 5 වැනිදා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

දිනය : 2025-07-25

  • ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අගෝස්තු 6 
  • පාර්ලිමේන්තුව අගෝස්තු 5, 6 සහ 7 රැස්වෙයි

 

ටී. එම්. ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය ලබන අගෝස්තු 5 වැනිදා විවාද කිරීමට පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජූලි 24) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත. මේ අනුව අගෝස්තු 5,6 සහ 7 තෙදින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර අගෝස්තු 8 වැනි සිකුරාදාට යෙදී ඇති නිකිණි පොහොය හේතුවෙන් එදින පාර්ලිමේන්තුව රැස් නොවේ.

මේ අනුව අගෝස්තු 05 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 4.00 දක්වා පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය විවාදයට ගැනීමටත් ප.ව. 4.00ට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත. 

අනතුරුව ප.ව. 4.15 සිට ප.ව. 5.30 දක්වා ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත යටතේ නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග විවාදයට ගෙන අනුමත කිරීමට ද එකඟත්වය පළ වී ඇත. ඉන්පසු ප.ව. 5.30 සිට ප.ව. 6.00 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.

අගෝස්තු 06 වැනි බදාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා ද පෙ.ව. 10.30 - පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද වෙන් කර ඇත. පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙන අතර අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), දුම්කොළ බදු පනත යටතේ නියමය සහ තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇත.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

අගෝස්තු 07 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 

අනතුරුව පෙ.ව. 11.30 සිට මධ්‍යහ්න 12.00 දක්වා විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයකින් තොරව සම්මත කිරීමට මෙහිදී තීරණය වී ඇත. අනතුරුව මධ්‍යහ්න 12.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව “රටේ වර්තමාන ආර්ථිකය” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් නියමිතව තිබේ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි