ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රටේ දිශානතිය යහපත් මාවතකට යොමු කරන දේශපාලකයෙක් වීමට හැඟීමක් ඇතිකරගන්න - කොළොන්නාව බාලිකා විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අමතමින් කථානායකවරයා පවසයි

දිනය : 2025-02-13

දේශපාලකයා යනු රටේ දිශානතිය යහපත් මාවතකට යොමු කළ හැකි චරිතයක් බවත් අනාගතයේදී එවැනි දේශපාලකයෙකු වීමට හැඟීමක් ඇතිකරගන්නා ලෙසත් කොළොන්නාව බාලිකා විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අමතමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී 2025.02.11 දින පැවති කොළොන්නාව බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අමතමින් කථානායකවරයා මේ බව පැවසීය.
 
දේශපාලකයා යනු දූෂිත චරිතයක් ලෙස වැරදි පූර්වාදර්ශයක් පැවති බවත් එය නිවැරදි විය යුතු බවත් කථානායකවරයා මෙහිදී පැවසූ අතර රටේ ව්‍යවස්ථාදායකයට යහපත් චරිත පැමිණිය යුතු බවත් එවැනි චරිත මෙම පාසැල් දරුවන් අතරින් බිහි විය යුතු බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය. එසේම මිනිසුන්ගේ හදවත දිනාගන්නා චරිතයක් වීමට අදිටන් කරගන්නා ලෙසත් ආරාධිත දේශනය සිදු කරමින්  කථානායකවරයා මෙහිදී දරුවන්ට පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පැවසුවේ  නීතිගරුක පුරවැසියෙක් වීමට දරුවන් අදිනටන් කරගත යුතු බවයි. එසේම ඉදිරි මැතිවරණය අරමුණු කරගත් සාම්ප්‍රදායික දේශපාලකයෙකු නොවී රටේ ඉදිරි පරම්පරාව අරමුණු කරගනිමින් කටයුතු කරන සදාචාරාත්මක නායකයෙතකු වීමට දරුවන් අදිටන් කරගත යුතු බව මෙහිදී නියෝජ්‍ය කථානායකවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ ක්‍රමවේදය සම්බන්ධයෙන් මූලික හැඳින්වීමක් සිදු කළ අතර පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය මෙවර පාර්ලිමේන්තුවේ දක්නට ලැබීම අනාගත කාන්තා නායිකාවන්ට වඩාත් සුබදායි පණිවුඩයක් බවත් පැවසුවාය. එසේම මුලු ලෝකයේම පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය බවට පත්වෙමින් සිරි‍මාවෝ බණ්ඩාරනායක මහත්මියට ශ්‍රී ලංකාවේ නාමය ඔසවා තැබීමට හැකිවූ බවත් වත්මන් අග්‍රාමාත්‍ය තනතුර දරන්නේ ද කාන්තාවක් වන බැවින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙම ශිෂ්‍යාවන්ට අනාගත නායිකාවන් බවට පත්වීමට හැකියාව පවතින බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය. තවද නායකත්ව ගුණාංග වැඩිදියුණු කරගැනීමට ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉතා වටිනා පන්නරයක් ලබා දෙන බවද ඇය මෙහිදී පැවසුවාය.

එසේම මෙම අවස්ථාවට එක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ.එම්.එන් කුමාරසිංහ මහතා ‘Clean Sri Lanka’ වැඩසටහන පිළිබඳව මූලික හැදින්වීමක් සිදු කළ අතර වඩාත් යහපත් රටක් බිහිකිරීම උදෙසා දරු දැරියන්ගේ වගකීම පිළිබඳව විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කළේය.

තවද පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැ.බ.) එම්. ජයලත් පෙරේරා මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශිෂ්‍යාවන් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ අනාගත නායක නායිකාවන් බිහිවීමට ශිෂ්‍ය පාර්ලිමේන්තු වැනි වැඩසටහන් ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරන බවයි.

කොළොන්නාව බාලිකා විද්‍යාලයීයේ විදුහල්පතිනි එස්.එච්.ජේ. බලගල්ල මහත්මිය මෙහිදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ මෙරට පාර්ලිමේන්තුව ලෙස දශක ගණනක් පැවති මෙවැනි ඓතිහාසික ස්ථානයක සිට දරුවන්ට මෙම අත්දැකීම ලැබාගැනීමට හැකි වීම ඉතා වටිනා අවස්ථාවක් බවයි.

අනතුරුව කොළොන්නාව බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභිකයන් විසින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය පැවැත්වීම සිදු කරන ලදි .

එසේම මෙම අවස්ථාවට සහභාගී වූ ශිෂ්‍යාවන්ට ගරු කථානායකවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින් සහතික පත් ප්‍රදානය කිරීම ද සිදුවිය.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය එක්ව සංවිධානය කළ ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස මෙම වැඩසටහන පැවැත්විණි.

පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශයේ කළමනාකාරිණි බුද්ධිනි රාමනායක ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3 4

5 6

7

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි