ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සාමාජිකයින් ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි

දිනය : 2025-01-31

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සාමාජිකයින් පසුගියදා (ජන. 29) පාර්ලිමේන්තුවේ දී ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවුහ. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති රසාංජලි පතිරගේ මත්මියද සහභාගී වුහ.

මෙහිදී එම ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සාමාජිකයින් ඔවුන්ට දිගු කාලයක් පුරා පවතින ගැටලු සම්බන්ධයෙන් ගරු කථානායකවරයා දැනුවත් කළහ. ශ්‍රී ලංකාව තුළ ප්‍රතිපත්ති සම්පාදනයේදී, මෙරට ජනගහනයෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරන ආබාධිත ප්‍රජාව සම්බන්ධ කර නොගැනීම ගැන ඔවුහු මෙහිදී ගරු කථානායකවරයාගේ අවධානය යොමුකළ අතර ප්‍රතිපත්ති සම්පාදනයේදී ආබාධිත ප්‍රජාවගේ සහභාගිත්වයේ වැදගත්කම ද ඔවුහු මෙහිදී පෙන්වා දුන්හ.

ආබාධිත ප්‍රජාවගේ ගැටලු සඳහා විසදුම් සෙවීමේදී ඒ සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයද ඔවුහු ගරු කථානායකවරයාගේ අවධානයට යොමුකළහ. එමෙන්ම ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළු ආබාධිත ප්‍රජවගේ අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා විධිමත් සම්බන්ධිකරණ වැඩපිළිවෙලක් සකස්කරගැනීම මෙන්ම සංඥා භාෂාව ජාතික භාෂාවක් බවට පත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරගැනීමේ අවශ්‍යතාවය ද මෙම හමුවේදී ඔවුහු අවධාරණය කළහ. එමෙන්ම මෙරට ශ්‍රවණාබාධිත පිරිසෙන් බහුතරයක් කාන්තාවන් වන හෙයින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද කටයුතු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ඔවුහු මෙහිදී ගරු කථානායකවරයාගේ අවධානයට යොමුකළහ. එමෙන්ම ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ද හැකි ඉක්මනින් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසට ඔවුහු ගරු කථානායකවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායකවරයා මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට දෘෂ්‍යාබාධිත ගරු මන්ත්‍රීවරයෙක් (සුගත් වසන්ත ද සිල්වා මහතා) පාර්ලිමේන්තුව නියෝජනය කරන බව පෙන්වා දුන්නේය. එම ගරු මන්ත්‍රීවරයා මේ වනවිටත් ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවත් ඒ අනුව එම සංසදය හැකි ඉක්මනින් පිහිටුවීමට හැකිවන බවත් මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ගරු කථානායකවරයා පැවසුවේය. ඒ ඔස්සේ වසර ගණනාවක් පුර ආබාධිත පුද්ගලයින්ගේ පවතින ගැටලු සඳහා අවශ්‍ය විසදුම් ලබාගැනීමට හැකිවෙනු ඇති බවත් ගරු කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි