ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තෛපොංගල් දිනය උත්සවාකාරයෙන් සමරයි

දිනය : 2025-01-24

පසුගිය ජනවාරි 14 වැනිදාට යෙදී තිබුණු තෛපොංගල් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තෛපොංගල් උත්සවය අද උත්සවාකාරයෙන් ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්  සමරන්නට යෙදුනු තෛපොංගල් උත්සවය ලෙස මෙය සැළකේ.

මේ අවස්ථාව සඳහා හින්දු ආගමික පුජ‍ෙතුමන්ලා, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, ගරු සභානායක අමාත්‍ය බිමල් රත්නායක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි, ධීවර, ජලජ සහ සාගර සම්පත් ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ගරු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු මන්ත්‍රීවරයන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර, නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීහු ද සහභාගී වී සිටියහ.

ධීවර, ජලජ සහ සාගර සම්පත් ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ යෝජනාවකට, ගරු කථානායකවරයාගේ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් මෙම උත්සවය පවත්වන්නට යෙදුණි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහජනතාව අතර දෙමළ සංස්කෘතිය පිළිබඳ අවබෝධය සහ අගය කිරීම ප්‍රවර්ධනය කිරීමත් දමිළ ප්‍රජාවගේ උරුමයන් සහ සම්ප්‍රදායන් සඳහා ගරු කිරීම, ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය හඳුනා ගනිමින් සියලු දෙනා ඇතුළත් ජාතික අනන්‍යතාවයක් වර්ධනය කිරීම ඇතුළු අරමුණු කිහිපයක් මුලික කර ගැනීමෙන් මෙය සංවිධනය කර තිබුණි.

අස්වනු නෙළා වියළා ගන්නට උචිත යහපත් කාලගුණයක් සලසාදීම වෙනුවෙන් සූර්යයාට අස්වැන්නේ මුල් කොටස පිදීමටත්, ගව මහිෂාදී සත්ත්ව සමූහයා වෙත කෘතගුණ සැළකීමත් අරමුණු කරගෙන මෙම තෛපොංගල් උත්සවය සැමරීම සිදුකරයි. ඒ අනුව අද උදෑසන තෛපොංගල් උත්සවය සැමරීම ආරම්භ කරමින් ආගමික චාරිත්‍රවල නිරත විය. මෙහිදී අලංකාර කෝලම් රටා නිර්මාණය කර තිබු අතර කිරි උතුරුවමින් පොංගල් බත සකස් කිරීමද සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායකවරයා මානවයා ස්වභාවදහමත් සමග කෙතරම් සමීපව කටයුතු කරන්නේද යන්න මෙම තෛපොංගල් උත්සවයෙන් වඩාත් පැහැදිලි වන බවත් සියලු ජාතීන් අතර සමගිය සහ සහජීවනය මේ ඔස්සේ විදහා දක්වෙන බවත් පැවසුවේය. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා ද මෙහිදී අදහස් දක්වමින් සියලු ජාතීන් අතර සමගියට භාෂා බාධකය ජයගත යුතු බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ එය සිදුකිරීමට අපේක්ෂා කරන බවත් පැවසුවේය. එමෙන්ම ධීවර, ජලජ සහ සාගර සම්පත් ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාද මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුව මෙයාකාරයෙන්  ජාති, ආගම් භේදයෙන් තොරව ජාතික සමගිය වෙනුන් කටයුතු කිරීම  අගය කරන බව පැවසුවේය.

එමෙන්ම මෙම අවස්ථාව ආශීර්වාදාත්මක නර්තනාංග කිහිපයකින් සහ වාදනයන්ගෙන් වර්ණවත් විය.

මේ උත්සව අවස්ථාව සඳහා, පාර්ලිමේන්තු දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නිලධාරීන්, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

 

1 2

3 4

5 6

7 8

9 10

11 12

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි