ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු කථානායකතුමාගේ තෛපොංගල් දින පණිවිඩය

දිනය : 2025-01-10

ශ්‍රී ලාංකිකයන්ද ඇතුළුව ලොව පුරා  දෙමළ ජනතාව ඉමහත් ප්‍රබෝධයෙන් එක්ව සමරන 2025 වසරේ ප්‍රථම උත්සවය, තෛපොංගල් උත්සවයයි.  එහෙයින්, එළඹෙන තෛපොංගල් දිනය සාරවත්, ප්‍රීතිමත්  මෙන්ම අධ්‍යාත්මික සුවය යෙහෙන් රැඳුණු උත්සවයක් වේවායි! මම ප්‍රථමයෙන්ම සුභාසිරි ගෙන එනු කැමැත්තෙමි.

අස්වැන්න දියුණු වනු පිණිස සූර්යයා විසින් කළ මෙහෙවරද, එය තවත් සාරවත් කිරීමට වර්ෂාව ලබාදුන් දායකත්වයද, ගව-මහීෂාදී සත්ත්වයින්ට කෘතගුණ සැලකීමද මෙම තෛපොංගල් උත්සවයේ මුඛ්‍ය අරමුණයි.

දෙවියන් හා සොබාදහම සමඟ නිරතුරුව බැඳී සිටින අප සහෝදර දෙමළ ප්‍රජාව මෙම උත්සවය සමරනුයේ හද පිරි සතුටිනි.  ඔවුන් සිය කෙත්බිමෙන් නෙළාගත්, නව අස්වැන්න තමන් විශ්වාස කරන ඉරු දෙවියන් ඇතුළු සෙසු දෙවිවරුන්ට පූජා කරන්නේ, කළගුණ සැලකීම සිය දිවිය හා බැඳුණු ගෞරවනීය වගකීමක් ලෙස සලකමිනි.

දෙමළ ජනතාවගේ සම්ප්‍රදායික මාස ක්‍රමය අනුව ජනවාරි මස හැඳින්වෙනුයේ තෛ මාසය නමිනි.  එය අතිශය විචිත්‍රවත් සංස්කෘතිකාංග රැසකින් සමන්විත උත්සවයකි.  සිය නිවසෙහි පිරිසිදු බව ප්‍රමුඛ  කටයුත්තක් කරගත් දෙමළ කාන්තාවන්ගේ රමණීය කෝලම් රටාවෙන් හැඩවුණු ගෙමිදුල මෙම පොංගල් උත්සවයෙහි අමතක නොකළ යුතු, අතිශය අලංකාරවත්, සුන්දර සලකුණක් වෙයි.

2025 වසරෙහි ලොවට උදා වූ අසිරිමත් තෛපොංගල් උත්සවය ජාති භේදයකින් තොරව, පොංගල් කිරිබත් මුළු රටටම බෙදන්නට හැකි කරුණාබර සිත් පහළවන, සහයෝගය, සමානාත්මතාවය, සමෘද්ධිය මෙන්ම රෝ-පීඩාදී උවදුරුවලින් මිදුණු, නව හෙට දිනකට ඇරඹුමක් වේවා!


වෛද්‍ය ජගත් වික්‍රමරත්න
කථානායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි