2025 ජනවාරි මස 09 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2025-01-09 |
|
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : කාරක සභාවල සේවය කිරීම සඳහා නම් කරන ලද සාමාජික මන්ත්‍රීන්
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2023 වර්ෂය සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(i) 2025 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද; ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද; ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැකසීම සඳහා ද; එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද; ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කාරණා හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ
“විසර්ජන”
නමැති පනත් කෙටුම්පත ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.
(ii) ඡන්ද විමසීම් කැඳවනු ලැබ සහ කල් තබා ඇත්තා වූ ඇතැම් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අලුතින් නාමයෝජනා කැඳවීම සඳහා සහ එම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ ද, ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ ද
“පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)”
නමැති පනත් කෙටුම්පත ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 8 දක්වා සහ 10 යටතේ සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය
(ii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක්
(iii) සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය
(iv) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
කල් තැබීමේ යෝජනාව
“වැඩිවන ජීවන වියදම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අමිල ප්‍රසාද් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2025 ජනවාරි මස 10 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.