ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඉන්දීය මහ කොමසාරිස්වරයා ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි

දිනය : 2025-01-09

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා 2025.01.06 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී විය.

මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ගරු කථානායක වෛද්‍ය වික්‍රමරත්න මහතාට නව වසර සඳහා සුබ පැතුම් එක් කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය නැවතත් තහවුරු කළේය. එසේම දෙරටේ අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ගරු කථානායකවරයාට ආරාධනයක් ද  කළේය.

පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා පුහුණු සහ ධාරිතා වර්ධන වැඩසටහන් හරහා පාර්ලිමේන්තුවට සහාය දැක්වීමේ ඉන්දියාවේ සූදානම පිළිබඳව ද මහ කොමසාරිස්වරයා සඳහන් කළේය. දහවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා ගරු කථානායකතුමාගේ මග පෙන්වීම අපේක්ෂා කරන බවද ඔහු පැවසීය. තවද,  ප්‍රතිපත්ති සම්පාදනයේ දී කාන්තාවන්ගේ භූමිකාව ඉහළ නැංවීම මෙන්ම අන්තර් සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටේ පාර්ලිමේන්තුවල කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කණ්ඩායම් අතර සමීප සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය.      

ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, දෙරට අතර ඓතිහාසික සබඳතා සහ සංස්කෘතික බැඳීම් පිළිබිඹු කරමින්, විවිධ අංශ ඔස්සේ ඉන්දියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහයෝගයට සිය කෘතඥතාව පළ කළේය.

ආර්ථික සංවර්ධනය, ඩිජිටල්කරණය සහ කලාපීය සහයෝගීතාව ඇතුළු බොහෝ කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි