ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

චීන තානාපතිවරයා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි

දිනය : 2025-01-03

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති ගරු ෂිී ෂෙන්හොන්ග් මහතා (Qi Zhenhong), ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2025.01.01 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමුවිය. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද එක්ව සිටියාය.

මෙම හමුවේදී තානාපතිවරයා විසින් මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ගරු ෂාඕ ලෙජි (Zhao Leji) මහතාගේ (මහජන චීන සමූහාණ්ඩුවේ පාර්ලිමේන්තුවේ කථානායක), නව වසර සඳහා වන සුබ පැතුම් පණිවුඩය කථානායකවරයා වෙත ලබා දෙන ලදී. නව වසරට සුබ පැතුම් එක් කරමින් තානාපතිවරයා දෙරට අතර දිගුකාලීන සහයෝගීතාව පවත්වා ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම හුවමාරු වැඩසටහන් හරහා ඉදිරියේදී දෙරටේ ව්‍යවස්ථාදායක අතර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, පොළොන්නරුවේ චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස තම අත්දැකීම් සිහිපත් කළ අතර ශ්‍රී ලංකාවේ ජනතාවට ඉහළ ප්‍රතිලාභ ලබා දී ඇති චීන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව කෘතඥතාව පළ කළේය. දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දසවැනි පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

ගරු ජනාධිපතිවරයාගේ පළමු චීන නිල සංචාරය සඳහා පවතින සූදානම පිළිබඳව ද තානාපති ෂිී ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා කරුණු දැක්වීය. මෙම ඓතිහාසික නිල සංචාරය, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවිමට වැදගත් වනු ඇති බව තානාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 

3 4

5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි