ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීමට පාර්ලිමේන්තුව තැඹිලි පැහැ ගැන්වෙයි

දිනය : 2024-12-06

  • ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කිරීමේදී විශේෂ සැලකිල්ලක් දැකිවිය යුතුයි - අග්‍රාමාත්‍ය ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මැතිනිය
  • කාන්තාවන්ට, දරුවන්ට සිදුවන යම් ප්‍රචණ්ඩත්වයක් සම්බන්ධයෙන් දැනුවත් නම් 1938 අංකයට පැමිණිලි කරන්න - පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති, අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය
  • සහයෝගය දැක්වීමක් ලෙස මන්ත්‍රීවරයන්ට “ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය අවසන් කරනු” යන වැකිය සහිත අත් පළඳනාවක්

 

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලිය ක‍්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී අද (දෙසැ. 06) පැවැත්විණි. මෙම වැඩසටහනට සහයෝගය දැක්වීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරිනියන් තැඹිලි වර්ණයෙන් සැරසී සිටියහ.

එහිදී ප්‍රථමයෙන් “ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය අවසන් කරනු” යන වැකිය සහිත අත් පළඳනාවක් ගරු කතානායක (ආචාර්ය) අසෝක රන්වල මහතා, වෙත පළඳවන ලද්දේ නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් විසිනි. මේ අවස්ථාවට එක් වූ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ටද මෙම  අත් පළඳනාව පැළඳවීම මෙහිදී සිදු විය. මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් සහ කාන්තා  සංසදයේ  ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද සහභාගී වූවාය.

“ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය අවසන් කරනු” වැකිය සහිත අත් පළඳනාව අග්‍රාමාත්‍ය ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය, සභානායක අමාත්‍ය ගරු බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස, නි‌යෝජ්‍ය කථානායක ගරු (වෛද්‍ය) රිස්වි සාලි යන මහත්ම මහත්මීන්ට පැළඳවීම ඉන් අනතුරුව සිදු කෙරිණි. තවද, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම අත් පළඳනාව පැළඳවීම සහ පරිශීලනය සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමට සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම පිණිස වන මහජන ප්‍රතිඥාව ඇතුළත් පත්‍රිකාවක්ද  පිරිනැමීම මෙහිදී සිදු විය.

අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින්,  ප්‍රචණ්ඩත්වයට  ලක්වන කාන්තාවන්ට අදාළ වාර්තා කිරීම් චිත්‍ර කතා නොව ජිවිත පිළිබඳ කාරණා වන බැවින් ඊට අදාළව සිදු වන මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් අවධානය ලක් කළ යුතු බවට අග්‍රාමාත්‍ය ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මැතිනිය අදහස් දක්වමින් පැවසුවාය. කාන්තාවන්ට, දරුවන්ට සිදුවන ප්‍රචණ්ඩත්වය බොහෝ විට සිදු වන්නේ ආගන්තුක පුද්ගලයන්ගෙන් නොව සමීපතමයන්ගෙන් බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් කාන්තාවන්ට, දරුවන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව 1938 අංකය ඔස්සේ පැමිණිලි කළ හැකි බවත්, එවන් පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වන බවටත් මෙහිදී අවධාරණය කරනු ලැබීය. කාන්තාවන් සම්බන්ධයෙන් සිදුවන පරිගණක අපරාධ කෙරෙහි දැඩිව  ක්‍රියාකාරී වන බවත් ඇය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

මෙම කාන්තා සංසදය පාර්ලිමේන්තුව තුළ ආදර්ශවත් ලෙස ක්‍රියාත්මක වීම වගකීමක් බවත්, රටේ නීති සම්පාදනය කිරීමේ වගකීම් දරන ස්ථානය වන පාර්ලිමේන්තුවේ කාන්තවන්ට හිමි වන අභිමානය, ගෞරවය රටේ සියලුම ශ්‍රී ලංකික කාන්තාවන්ට, දරුවන්ට හිමි වන අභිමානය, ගෞරවය තීන්දු කරන මුලික අවස්ථාව වන බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

 

1 2

3 4

5 6

7 8

9 10

11

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි