ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම - 2024 නොවැම්බර් මස 21 වැනි බ්‍රහස්පතින්දා

දිනය : 2024-11-21

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ මංගල රැස්වීම අද දින පෙ.ව. 10.00 ට ආරම්භ විය.

රැස්වීම කැඳවීම පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශනය පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් කියවා කථානායකවරයෙකු ඡන්දයෙන් තෝරා පත් කිරීමෙහි වහාම නිරත විය.

 

කථානායකවරයා ඡන්දයෙන් තෝරා පත් කිරීම

10 වැනි අභිනව පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අසෝක සපුමල් රන්වල මහතාගේ නම පිළිවෙළින් ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය, පා.ම. සහ ගරු විජිත හේරත්, පා.ම. යන මහත්ම මහත්මීන් විසින් යෝජනා කර ස්ථිර කරන ලදී. එවිට අභිනව කථානායකවරයා වශයෙන් තෝරා පත් කරනු ලැබූ ගරු අසෝක සපුමල් රන්වල මහතා යෝජක හා ස්ථිරකරු විසින් මූලාසනය වෙත කැඳවාගෙන යනු ලැබීය. ගරු කථානායකතුමා මූලාසනය වෙත පැමිණ අසුන් ගැනීමට පෙර ඉතා ලුහුඬින් සභාවට ස්තූති කළේය. ඉන්පසු ගරු කථානායකතුමා මූලාසනාරූඪ වී නීති ප්‍රකාරව ප්‍රතිඥා දීම සහ පොතෙහි අත්සන් තැබීම සිදු කළේය.

පසුව, පැමිණ සිටි සියලුම ගරු මන්ත්‍රීවරු ස්වකීය ප්‍රතිඥා දීමෙහි හෝ දිවුරුම් දීමෙහි හෝ නිරත වී සභා මේසය මත තිබෙන පොතෙහි අත්සන් තැබූහ.

ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ විවිධ දේශපාලන පක්ෂවල නායකයන් විසින් සතුට පළ කෙරෙන කථා පවත්වනු ලැබීය. ගරු කථානායකතුමා විසින් ඊට පිළිතුරු කථාවක් පවත්වන ලදී.

 

නියෝජ්‍ය කථානායකවරයා ඡන්දයෙන් තෝරා පත් කිරීම

10 වැනි අභිනව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතාගේ නම පිළිවෙළින් ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස, පා.ම. සහ ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, පා.ම. යන මහත්ම මහත්මීන් විසින් යෝජනා කර ස්ථිර කරන ලදී.

 

නියෝජ්‍ය කාරක සභාපතිවරයා ඡන්දයෙන් තෝරා පත් කිරීම

10 වැනි අභිනව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හේමාලි වීරසේකර මහත්මියගේ නම පිළිවෙළින් ගරු සුනිල් හඳුන්නෙත්ති, පා.ම. සහ ගරු සමන්මලී ගුණසිංහ, පා.ම. යන මහත්ම මහත්මීන් විසින් යෝජනා කර ස්ථිර කරන ලදී.

 

කථානායකතුමාගේ නිවේදන

අභිනව පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් පිළිවෙළින් ගරු බිමල් රත්නායක, පා.ම. සහ ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස, පා.ම. යන මහත්වරුන් පත් කරන ලද අතර, අභිනව පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා වශයෙන් ගරු කථානායකතුමා විසින් ගරු සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා ලදී.

ගරු කථානායකතුමා විසින් රැස්වීම ප‍ෙ.ව. 11.30 දක්වා තාවකාලිකව අත්හිටුවන ලදී.

 

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම

සභාව ප‍ෙ.ව. 11.30 ට යළිත් එක්රුස් වූ අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී.

2024 දෙසැම්බර් මස 03 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය යුතු බවට වන කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

ඊට අනුකූලව, පාර්ලිමේන්තුව පැය 1225 ට 2024 දෙසැම්බර් මස 03 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි