ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරය‍ා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා තේරී පත් වෙයි

දිනය : 2024-11-21

•    නියෝජ්‍ය කථානායක ධුරය ජාතික ජන බලවේගයේ වෛද්‍ය රිස්වි සාලි මහතාට...

•    නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය ජාතික ජන බලවේගයේ හේමාලි වීරසේකර මහත්මියට...

 

දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධුරයට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය අශෝක රන්වල මහතා ඒකමතිකව තේරී පත්විය. අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රන්වල මහතාගේ නම යෝජනා කරන ලද අතර අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් ස්ථිර කරන ලදී.

අනතුරුව කථානායකවරයාගේ නම යෝජනා ස්ථිර කළ අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් සාම්ප්‍රදායිකව නව කථානායකවරයා සිය අසුන වෙත කැඳවාගෙන යෑම සිදුවිය. මෙහිදී කථානායකවරයා විසින් තමා පත්කිරීම පිළිබඳව කෙටි ස්තූතිය පිරිනැමීමක් සිදු කළ අතර අනතුරුව කථානායකවරයා විසින් මහලේකම්වරිය ඉදිරියේ සිය ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දෙන ලදී. අනතුරුව අනෙකුත් සියලු මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම සිදුවිය.

ඉන්පසු නව කථානායකවරයාගේ තේරී පත්වීම පිළිබඳ අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය, සමගි ජන බලවේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක ගරු රවුෆ් හකීම් යන මහත්ම මහත්මීහු සුභාශිංෂණ එක් කළහ.   

කථානායක ධුරයට තමා පත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කළ කථානායකවරයා පවසා සිටියේ රටේ උත්තරීතරම ආයතනයක් ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය, ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමට කැපවන බවයි.  එසේම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා පිළිවෙත් අනුව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ සහය අපෙක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය. එසේම රටේ ජනතාව අපේක්ෂා කරන නව දේශපාලන සංස්කෘතියක් සහිතව පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩාත් ඵලදායිව ක්‍රියාත්මක කිරීමට උපරිම කැපවන බවත් කථානායකවරයා සඳහන් කළේය. තවද පාර්ලිමේන්තු කාරක සභා යාන්ත්‍රණය වඩාත් විධිමත්  කිරිීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බවත් පැවසූ කථානායකවරයා පාර්ලිමේන්තු කටයුතුවලදී ආදර්ශවත් ලෙස සහ  විනයානුකූලව දායකත්වය ලබා දෙන ලෙසත් වැඩිදුරටත් සියලු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය.

ආචාර්ය ගරු අශෝක රන්වල මහතා ජාතික ජන බල‍වේගය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුමේන්තුවට තේරී පත් විය.  ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ ඒ මහතා වර්තමානයේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙකු වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ බියගමදී උපත ලද රන්වල මහතා මූලික අධ්‍යාපනය බියගම යටිහේන ප්‍රාථමික විදුහලෙන් සහ උසස් අධ්‍යාපනය ගම්/හෙනේගම මධ්‍ය මහා විදුහලෙන් ලබා තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධිධාරියෙක් වන නව කථානායකවරයා ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ජෛව රසායනය පිළිබඳ ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කර තිබේ. බියගම ප්‍රාදේශීය සභාවේ සහ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ද ඒ මහතා කටයුතු කර ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි මහතා තේරී පත්වූ අතර ඒ මහතාගේ නම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ අමාත්‍ය ගරු සරෝජා පෝල්රාජ් යන මහත්ම මහත්මීහූ යෝජනා ස්ථිර කළහ.

ගරු වෛද්‍ය මොහාමඩ් රිස්වි සාලි මහතා ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙකු වන අතර ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික සංසදයේ ද සාමාජිකයෙකි. දශක තුනකට වැඩි කාලයක් වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇති ඒ මහතා 2024 මහ මැතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්විය.

තවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා  ගරු හේමාලි වීරසේකර මහත්මිය ඒකමතිකව තේරී පත් වූවාය. අමාත්‍ය ගරු  සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඇගේ නම යෝජනා කරන ලද අතර ගරු සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ස්ථිර කරන ලදී. හේමාලි වීරසේකර මහත්මිය ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරියකි. කොළඹ යසෝධරා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇති ඇය වෘත්තියෙන් වෛද්‍ය රසායනාගාර තාක්ෂණික නිලධාරිනියක ලෙස සේවය කොට තිබේ. ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභික සහ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කාන්තා විධායක සභික ලෙස කටයුතු කර ඇති වීරසේකර මහත්මිය මහර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරියක් ද වේ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි