රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් එක්වේ

දිනය : 2024-11-11

Print

රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ඔක්. 30) විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සමීප කරවමින් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එහිදී උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් නියෝජ්‍ය මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය, එහි කාර්යභාරය හා පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුවත් කළ අතර පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ නිසි අවබෝධයක් පාසල් කාලය තුළදීම ලබා ගැනීම ඔස්සේ සමාජයේ පවතින ගැටලු සඳහා ක්‍රමවත් පිළිතුරු ලබාගැනීමට පවතින අවස්ථාව පිළිබඳව අවධාරණය කරන ලදි. මෙම අවස්ථාවට සහභාගී වූ රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පති, ශිෂ්‍ය පාර්ලිමේන්තු ඔස්සේ ලබාගන්නා අත්දැකීම් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමේ වටිනාකම හා පාසල් පද්ධතියේ මෙවැනි වැඩසටහන් තුළ ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා ආකල්ප වැඩි දියුණුවීම පිළිබඳව අදහස් දක්වමින් කරුණු පැහැදිළි කළේය.

ශිෂ්‍ය ප්‍රජාවට පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව ප්‍රායෝගික අවබෝධය ලබාදීම අරමුණු කර ගනිමින් ඇරඹී ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවේ කථානායකවරයා තෝරා ගැනීම මන්ත්‍රීවරයන් දිවුරුම් දීම හා එහි අමාත්‍යාංශවලට අදාළව මන්ත්‍රීවරුන් තම ඉදිරි සැලැස්ම හා යෝජනා සභාවට දැනුම් දීම ආදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් සමන්විත විය.

මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුන්  සඳහා නිල ලාංජන පැළඳවීම, සහතික පත්‍ර ප්‍රදානය කිරීම හා පාසල් පුස්තකාලයට ග්‍රන්ථ පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

 

1 2

3 4

5 6

7 8