ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස...

දිනය : 2024-11-11

දසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් ‍‍තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළඹෙන නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබේ. එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන් 29 දෙනෙක්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225ක් බවට පත්වේ. මෙසේ තේරීපත්වන මන්ත්‍රීවරයන් සහභාගී වන දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ 2024.09.24 දිනැති අංක 2403/13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිතය. පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ පළමු දිනය ඉතා වැදගත් වන්නේ එදින සිදුකිරීමට නියමිත විශේෂ කටයුතු රැසක් පවතින බැවිනි.

පළමු දිනයේ සභා ගර්භයේ කටයුතුවල ප්‍රධාන වගකීම් පැවරෙනුයේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙතයි. පළමු දිනයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරයන්ට හිමි වේ. සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලබයි.

අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති ‍ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම සිදුකරනු ලැබේ.

 

කථානායකවරයා පත්කිරීම

පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ඕනෑම මන්ත්‍රීවරයෙක් පත්කළ හැකිය. නමුත් කිසියම් මන්ත්‍රීවරයෙකුගේ නාම යෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර කථානායකවරයා ලෙස පත්වීමට අදාළ මන්ත්‍රීවරයාගේ කැමැත්ත විමසා දැනගනු ලැබිය යුතුය. කථානායකවරයා පත්කිරීම ‍මන්ත්‍රීවරයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සිදුවිය යුතු අතර ඒ පිළිබඳ විවාද පැවැත්වීමට අවකාශ නොලැබේ.

මෙහිදී මුලින්ම කථානායකවරයා පත්කර ගත යුතු බව මහලේකම්වරිය විසින් සභාවට දැනුම් දෙනු ලබයි. එවිට යම් මන්ත්‍රීවරයෙක් අසුනින් නැගී සිටියහොත් මහ‍ලේකම්වරිය විසින් එම මන්ත්‍රීවරයා දෙසට සියත දිගුකොට අදාළ යෝජනාවට සභාවේ අවධානය යොමු කරවයි. එසේ එක් නමක් යෝජනා වූ පසු වෙනත් නාම යෝජනා තිබේද යන්න මහලේකම්වරිය විසින් සභාවෙන් විමසිය යුතුය. එසේ විමසීමේදී වෙනත් නාම යෝජනාවක් නොමැති නම් එම මන්ත්‍රීවරයා කථානායක ලෙස යථා පරිදි තෝරාපත් කර ගැනේ.

මෙහිදී අදාළ මන්ත්‍රීවරයාගේ නම යෝජනා ස්ථිර කරනු ලැබූ මන්ත්‍රීවරයන් දෙදෙනා විසින් එම මන්ත්‍රීවරයාව දෙඅතින් අල්වාගෙන කථානායක අසුන වෙත කැඳවාගෙන යෑම ඓතිහාසික සම්ප්‍රදාය වේ.

අනතුරුව කථානායකවරයා විසින් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම දීම සිදුකරන අතර එම දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දෙනු ලබන්නේ මහලේකම්වරිය ඉදිරියේය. එසේ පත්වන කථානායකවරයා සිය ආසනයේ අසුන් ගැනීමට පෙර තමාව තෝරා පත්කර ගැනීම පිළිබඳ කෙටි ස්තූතියක් සභාව වෙත සිදු කිරීම සම්ප්‍රදායකි. නව කථානායකවරයාගේ තේරී පත්වීම පිළිබඳ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සුභාශිංෂණ පිරිනැමෙන අතර අනතුරුව කථානායකවරයා විසින් සිය ස්තුති කථාව සිදුකරනු ලැබේ. සභාවේ අනෙකුත් මන්ත්‍රීවරයන් මන්ත්‍රීවරයෙකු ලෙස සිය ප්‍රතිඥාව හෝ දිවුරුම කථානායකවරයා වෙත ලබාදෙන්නේ ඉන් අනතුරුවයි.

කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරයන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති විටකදී රහස් ඡන්දයක් පැවැත්වේ. මෙලෙස රහස් ඡන්ද පවත්වන අවස්ථා 02ක් පාර්ලිමේන්තු ක්‍රමය තුළ පවතී. එම අවස්ථා 02 නම් කථානායක, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති තෝරා පත්කර ගැනීම සිදුකරන අවස්ථාව සහ පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගන්නා අවස්ථාවයි.

එම ඡන්ද විමසීමේදී ගණපූර්ණ සීනුව විනාඩි 05 ක් නාද කිරීමෙන් අනතුරුව මහ‍ලේකම්වරිය විසින් සෑම මන්ත්‍රීවරයෙකුටම ඡන්ද පත්‍රිකාව බැගින් ලබා දෙන අතර මන්ත්‍රීවරයන් ඒ මත ඡන්දය ලබාදෙන අපේක්ෂකයාගේ නම සහ සිය අත්සන යෙදිය යුතුවේ. අනතුරුව එම ඡන්ද පත්‍රිකාව කිසිවෙකුට නොපෙනෙන සේ නවා ඡන්ද පෙට්ටියට ඇතුළත් කළ යුතුවේ. ඡන්දයක් පැවැත්වීමේ ආකාරය තීරණය කිරීමේ බලය සහ ඡන්ද ගණන් කිරීමේ රාජකාරිය සම්පූර්ණයෙන් හිමි වන්නේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය වෙතයි. ඡන්දය ගණනය කරනු ලබන්නේ මහ‍ලේකම්වරියගේ මේසය (Table of Parliament) මතදී යි. මෙසේ ගණනය කිරීමෙන් අනතුරුව ඡන්ද ප්‍රතිඵලය සභාව වෙත ප්‍රකාශයට පත්කරනු ලැබේ. යම් අවස්ථාවකදී ඡන්ද පත්‍රිකාවක මන්ත්‍රීවරයාගේ අත්සන යොදා නොමැති විටකදී එම ඡන්දය අවලංගු ඡන්දයක් ලෙස පිළිගැනේ.

කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරයන් තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති විටකදී ඡන්දයේදී බහුතර ඡන්ද සංඛ්‍ය‍ාවක් ලබා ගැනීමට යම් මන්ත්‍රීවරයෙක් අසමත් වුවහොත් අඩුවෙන්ම ඡන්දය ලබාගත් මන්ත්‍රීවරයා තරඟයෙන් ඉවත් කොට නැවත ඡන්ද විමසීම සිදු කරයි. ඉන් අනතුරුව ඔවුන් අතරින් වැඩි ඡන්දය හිමිකර ගන්නා තැනැත්තා කථානායක ලෙස තේරී පත්වේ. එමෙන්ම මන්ත්‍රීවරයන් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී ඇති අවස්ථාවකදී ඉහත ආකාරයට ඡන්ද පවත්වමින් එක් එක් මන්ත්‍රීවරයා ඉවත් කරමින් අවසාන එක් බහුතර ඡන්දලාභියෙක් ලැබෙන තෙක් ඡන්දය පවත්වයි. නමුත් කිසියම් මන්ත්‍රීවරයෙක් බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා ඔනෑම විටකදී එම මන්ත්‍රීවරයා කථානායකවරයා ලෙස තේරී පත්වේ.

යම් අවස්ථාවකදී මන්ත්‍රීවරයන් තිදෙනෙක් ඡන්දයට පෙනී සිටින විට සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමාන ඡන්ද ලබා ඇති විට කුසපත් ඇදීම මගින් සමාන මන්ත්‍රීවරයන් දෙදෙනාගෙන් එක් අයෙක් ඉවත් කිරීමේ බලය මහලේකම්වරියට හිමි වේ. අනතුරුව වැඩි ඡන්ද හිමි අපේක්ෂකයා සහ ඉතිරි වූ අනෙක් අපේක්ෂකයා අතර නැවත ඡන්දයක් පවත්වා කථානායකවරයා තෝරා පත්කර ගැනේ.

මන්ත්‍රීවරයන් දෙදෙනෙකු අතර ඡන්දය පැවැත්වෙන අවස්ථාවකදී අපේක්ෂකයන් දෙදෙනාම සමාන ඡන්ද ලබා ඇති විටකදී නැවත ඡන්දය පවත්වයි. නමුත් එම අවස්ථාවේදීත් අපේක්ෂකයන් දෙදෙනා විසින් සමාන ඡන්ද ලබා ඇති විටකදී කුසපත් ඇදීම මගින් කථානායකවරයෙක් තෝරා ගැනීමේ බලය මහ ලේකම්වරිවට හිමිවේ.මෙහිදී කුසපත් ඇදීමේ ක්‍රමවේදය තීරණය කිරීමේ බලය සම්පූර්ණයෙන් මහ ලේකම්වරියට හිමිවේ.

ඡන්දයක් පැවැත්වීමෙන් අනතුරුව අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රා තබා එක් මාසයක කාලසීමාවක් මහලේකම්වරියගේ භාරයේ තැබිය යුතු අතර, පසුව පාර්ලිමේන්තුවෙන් ලැබෙන නියෝගයක් අනුව ඒවා විනාශ කර ඒ බව නැවත පාර්ලිමේන්තුවට දැනුම්දිය යුතුය.

පාර්ලිමේන්තුවට තේරී පත්වන සියළු මන්ත්‍රීවරයන් පළමු දිනයේදී තම දිවුරුම හෝ ප්‍රතිඤාව ලබා දීමෙන් අනතුරුව අත්සන් තැබීමේ ලේඛනයේ අත්සන් තැබීම සිදුකළ යුතුය. මෙහිදී කථානායකවරයා පළමුවෙන් අත්සන් තබන අතර අනතුරුව සම්ප්‍රදායක් ලෙස අගමැතිවරයා අත්සන් කිරීමෙන් පසු සෙසු මන්ත්‍රීවරු සිය අත්සන් යොදති. මෙම අත්සන් ලේඛනය සම්ප්‍රදායානුකූලව ඉතා ආරක්ෂිත ලේඛනයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.

නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරකසභා සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ අවස්ථාව වන විට කථානායකවරයා තේරී පත්ව ආසනයේ රැඳී සිටින බැවින් සියලු දැනුම්දීම් සහ ඡන්ද විමසීම සිදු කරනු ලබන්නේ කථානායකවරයා විසිනි. නියෝජ්‍ය කථානායකවරයා සහ කාරකසභා සභාපතිවරයා සඳහා නාම යෝජනා වීමෙන් අනතුරුව කථානායකවරයා විසින් වෙනත් යෝජනා තිබේදැයි සභාවෙන් විමසනු ලබයි. එසේ නොමැති විටකදී අදාළ යෝජිත මන්ත්‍රීවරයන් ‍තනතුරු සඳහා තේරී පත්වේ. යම් අවස්ථාවකදී ඡන්ද විමසීමක් සිදුකරන්නේ නම් කථානායක තෝරා පත්කරගත් ක්‍රියාපිළිවෙතම අනුගමනය කෙරේ. එහිදී විශේෂත්වය වන්නේ මහලේකම්වරිය වෙනුවට කථානායකවරයා එම ඡන්ද විමසීම සිදුකරනු ලැබීමයි.

ඉහත කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තබනු ලැබේ. මෙහිදී කල් තබන දිනය වන්නේ බොහෝ විට ඊළඟට එළඹෙන පාර්ලිමේන්තු දිනයයි.

කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ජනාධිපතිවරයා විසින් එදින පාර්ලිමේන්තුව අමතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබන්නේ නම් මූලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවා නැවත රැස්වන අවස්ථාවකදී ජනාධිපතිවරයා සභාවේ මුලසුනේ සිට එකී ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින්ම පාර්ලිමේන්තුව ඊළඟ දිනය දක්වා කල් තබනු ‍ලැබේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි