ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාන්තාවට මුහුණදීමට සිදුවන නොයෙකුත් අභියෝග ජය ගැනීමට දැනුමින්, නිපුණතාවයෙන් පිරිපුන්ව ආත්ම විශ්වාසයෙන් ඉදිරියට යන්න - පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය කොලොන්නාව බාලිකා විදුහලේ ශිෂ්‍යාවන් අමතමින් පවසයි

දිනය : 2024-09-26

  • පාර්ලිමේන්තුවේ කාරක සභා හා සංසද 80කට වැඩි ප්‍රමාණයක් මගින් නොපෙනෙන විශාල වැඩකොටසක් ඉටුකරනවා - ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි

 

කාන්තාවන් නායකත්වය කරා යන ගමනේදී මුහුණදීමට සිදුවන අභියෝග ජය ගැනීමට දැනුම, නිපුණතාව සහ ආත්ම විශ්වාසය නිරන්තරයෙන් වර්ධනය කරගනිමින් නොබියව ඉදිරියට යන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය කොලොන්නාව බාලිකා විදුහලේ ශිෂ්‍යාවන් අමතමින් පැවසුවාය.

මහලේකම්වරිය මේ බව පවසා සිටියේ කොලොන්නාව බාලිකා විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවැත්වූ පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවෙන් බිහිවුව ද පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තවමත් 5% ඉක්මවා නොමැති පසුබිමක කාන්තා නායකත්වය සහ නියෝජනය තවදුරටත් වර්ධනය විය යුතු බවත් මහලේකම්වරිය පෙන්වා දුන්නාය. කෙසේවෙතත් නවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටුකළ බවත් එ් අනුව පසුගිය කාලය තුළ කාන්තාවන්ට අදාළ නව නීති හදුන්වාදීමට හා පවතින නීති සංශෝධනය කිරීමට හැකිවූ බවත් මහලේකම්වරිය වැඩිදුරටත් පවසා සිටියාය.

පාර්ලිමේන්තුව මහජනතාවගෙන් දුරස්ථ ආයතනයක් බවට පත්වීම දක්නට ලැබුණු පසුගිය කාලය තුළ ශිෂ්‍ය පාර්ලිමේන්තු 200කට වැඩි ප්‍රමාණයකට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සක්‍රීයව සම්බන්ධවී දැනුවත් කිරීම් සිදුකළ බවත් ඇය සඳහන් කළාය. එසේම නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු කාරක සභාවලදී තරුණ නියෝජිතයන්ට අවස්ථාව සැලසීම ඇතුළු සාධනීය පියවර රැසක් ගැනීමට හැකිවූ බව ද මහලේකම්වරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) ජයලත් පෙරේරා මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ කාරක සභා මඟින් තිරය පසුපස විශාල කාර්යභාරයක් ඉටු කරන බවයි. නවවැනි පාර්ලිමේන්තුව තුළ කාරක සභා 70ක් පමණ ක්‍රියාත්මක වූ බවත් විවිධ සංසද 12ක් හා සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සමඟින් මෙම ගණන 83ක් බවත් ඒ මහතා පැවසීය. එසේම මෙම කාරක සභා සහ එහි කාර්යභාර්ය පිළිබඳව සරලව ශිෂ්‍යාවන් දැනුවත් කිරීම ද සිදුවිය.

එසේම දරුවන්ගේ නායකත්ව කුසලතා හා පෞරුෂ සංවර්ධනය උදෙසා ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන බවත් ජයලත් පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කොලොන්නාව බාලිකා විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශිෂ්‍යාවන් පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ඇතුළු වැදගත් ස්ථාන දැකබලා ගැනීමට එක්විය.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහ‍ජන සේවා අංශය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනට කොලොන්නාව බාලිකා විදුහලේ සහකාර විදුහල්පතිනිය වන ආර්. ඒ .එස් මධුභාෂිණි, අංශ ප්‍රධාන ආචාර්ය ඩී.එම් තමරාකාන්ති දිසානායක, ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාර ආචාර්ය නිසංසලා අනුරැද්ධි ගල්මන්ගොඩ යන මහත්මීන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් ද පාර්ලිමේන්තුවේ මහජන සේවා අංශයේ කළමනාකාරිනී බුද්ධිනී රාමනායක මෙනවිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

 

1 2

3 4

5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි