ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අභිනව ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතාට කථානායකතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ සුබපැතුම් පිරිනැමේ

දිනය : 2024-09-24

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ ගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා නිල සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ලාංකික පුරවැසියන් සිය මව්බිම අනාගත ලෝකය කරා ගෙනයාමේ නව නියමුවා ලෙස අනුර කුමාර දිසානායක මැතිතුමන් තෝරාගත් බව මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් සනාථ කර ඇති බවත්, මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මැතිතුමන් ජයග්‍රහණය කිරීම රටපුරා මහජනයා විසින් සිය ඡන්දය අතිශය සාමකාමීව භාවිතය මගින් ඇති කළ වෙනසක් බව තම නිරීක්ෂණය බවත් කථානායකවරයා සිය පණිවිඩයේ සඳහන් කර තිබේ.

බරපතල ගණයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් තොරව මෙවන් ප්‍රතිඵලයක් අත්පත් කර ගැනීමේ ගෞරවය නිසැකවම ජය පැරදුම එක ලෙස විඳින්නට තීරණය කළ අපගේ ජනාධිපති අපේක්ෂකයන්ගේ ජයක් මෙන්ම මැතිවරණ කොමිසමේ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක අංශයේ මෙන්ම දැනුවත් පුරවැසියාගේ ද ප්‍රජාතන්ත්‍රවාදයේ ද සැබෑ ජයග්‍රහණයක් බවද කථානායකවරයා පෙන්වා දෙයි.

අනුර කුමාර දිසානායක මැතිතුමන් කෙරෙහි ඇති වූ මේ මහජන විශ්වාසය එක රැයෙන් පහළ වූවක් නොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ දීර්ඝ කලක් නියුක්ත වීමේ ප්‍රතිඵලයක් බව ද කථානායකවරයා තවදුරටත්  පෙන්වා දෙයි. වර්තමානයේ ඔහු ඉදිරියේ ඇත්තේ පහසු අභියෝගයක් නොවන අතර අපගේ සමාජ ආර්ථික දේශපාලනික දේහයේ විචල්‍යතා මැනවින් හඳුනා ගන්නා අතරෙහි ගෝලීය භූ දේශපාලනික ප්‍රවණතා අතර නොගැටෙමින් දිසානායක මහතාට මේ දීර්ඝ ගමන තිරසාරව ගමන් කිරීම සඳහා ප්‍රමාණවත් දේශපාලන අධිෂ්ඨානයක් සතු බව තම විශ්වාසය බවද කථානායකවරයා සඳහන් කරයි.

 නව විධායක ජනාධිපතිවරයෙකු සමග ශ්‍රී ලංකාව මේ අරඹන නව ගමනට සිය හදවතින්ම සුබ පැතුම් එක් කරන බවද කථානායකවරයා සිය සුබපැතුම් පණිඩිඩයේ සඳහන් කොට තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න සහ සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීන්ද පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය ලෙස ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ ගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පළ කොට තිබේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි