ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කරයි

දිනය : 2024-09-04

ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්. 03) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාලක මණ්ඩලයේ හා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් මෙන්ම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩල නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80(2)(අ) වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව, මහ බැංකුවේ අධිපතිවරයා, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, මහ බැංකුවේ සෑම නියෝජ්‍ය අධිපතිවරයෙකු ම පාර්ලිමේන්තුවේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුව විසින් හෝ එහි යම් කමිටුවක් විසින් මහ බැංකුවේ කර්තව්‍ය සම්බන්ධයෙන් සෑම මාස හතරකට ම වරක් විමසීමට ලක් කරනු ලැබිය යුතු බවට වන නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් මෙම රැස්වීම පැවැත්විණි.

පැවති තත්ත්වයට සාපේක්ෂව මෙරට උද්ධමනය සියයට 5ක අගයක් දක්වා පහතට ගෙන ඒමට හැකිවූ බව ද ප්‍රතිපත්ති පොලී අනුපාතය පහතට ගෙන ඒමට හැකිවූ බවද ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය. එසේම සංචිත ශක්තිමත් කිරීම හරහා විනිමය අනුපාතය ස්ථාවර කරමින් රුපියල ශක්තිමත් කිරීමට හැකිවූ බව ද ඒ මහතා සඳහන් කළේය.

රටේ මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීමට අදාළ කරුණු මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන් ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද මෙරට බැංකු පද්ධතිය කඩාවැටීම වළක්වා ගැනීමට හැකිවීම සුවිශේෂි කරුණක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. ඒ සදහා නව මහබැංකු පනත මෙන්ම බැංකු පද්ධතිය නියාමනය වෙනුවෙන් හදුන්වා දුන් නව නීති ඉවහල්වූ බව ද ඒ මහතා සඳහන් කළේය. එසේම බැංකු පද්ධතිය හා බැංකු නොවන මුල්‍ය පද්ධතිය මෙන්ම කොටස් වෙළඳපොල හා රක්ෂණ ක්ෂේත්‍රය ඇතුළු සමස්ථ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සඳහා නව මහ බැංකු පනත මගින් මුල්‍ය පද්ධති අධීක්ෂණ කමිටුවක් පත්කිරීම ඇතුළු මෙරට මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් තාක්ෂණික කරුණු පැහැදිළි කිරීම සිදුවිය. එසේම වත්මන් මූල්‍ය තත්ත්වය සහ ඊට අදාළ කරුණු පිළිබඳව මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලුවලට මහබැංකු අධිපතිවරයා විසින් පිළිතුරු ලබාදීම ද සිදුවිය.

මහ බැංකුවේ කාර්යභාරය සහ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ විනිවිදභාවයෙන් සහ වගවීමෙන් යුතුව පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සහ මෙලෙස සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව මෙම රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ. “2024 Global Finance’s Central Banker” වාර්තා අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට ගෞරවනීය පිළිගැනීමක් ලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔහුට සුබ පැතූහ.

 

1 11

9 14

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි