ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් මාලදිවයිනේ නිල සංචාරයක

දිනය : 2024-08-22

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙරට පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් 2024 අගෝස්තු 11 සිට 14 දක්වා මාලදිවයිනේ නිල සංචාරයක නිරත වූහ. දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක ගරු අබ්දුල් රහීම් අබ්දුල්ලා මහතා සිදුකළ ආරාධනයකට අනුව මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිස මෙම නිල සංචාරයේ නිරත විය.

මෙම සංචාරයේදී ගරු කථානායකවරයා මාලදිවයින් ජනරජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා හමුවිය. 2024 අගෝස්තු 13 වැනිදා එරට ජනාධිපති කාර්යාලයේ දී සිදුවූ මෙම හමුවේදී දෙරට අතර දීර්ඝකාලීනව පවතින මිත්‍ර සබඳතා සිහිපත් කරමින් මාලදිවයින් ජනාධිපතිවරයා කථානායකවරයා ඇතුළු දූත පිරිස උණුසුම් ලෙස පිළිගත්තේය. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට තවදුරටත් දායක වන සාධනීය ප්‍රතිඵල සහිත සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

දූත පිරිස මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක අබ්දුල් රහීම් අබ්දුල්ලා මහතා සමඟ සාකච්ඡාවක නිරත වූ අතර එහිදී දෙපාර්ශවයම පාර්ලිමේන්තු සහයෝගීතාව ඉහළ නැංවීමේ සිය අපේක්ෂාව තහවුරු කළහ. දෙරටේම ආර්ථික සමෘද්ධිය සඳහා ප්‍රධාන ක්ෂේත්‍රයන්හි අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරමින් සංචාරක හා ධීවර කර්මාන්තයේ දියුණුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. මාලදිවයිනේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවූ අතර මාලදිවයින් පාර්ලිමේන්තුව නැරඹීම සදහා ද මෙරට දූත පිරිසට පහසුකම් සලසා තිබිණි.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස මාලදිවයිනේ ජාතික කෞතුකාගාරය, කුලී ගුවන් සේවා පර්යන්තය සහ හුල්හුමලේ සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු මාලදිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ද එක්විය. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර දීර්ඝකාලීනව පවතින ද්වීපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අවධාරණය කරමින් සංචාරය නිමා විය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පියංකර ජයරත්න, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීහු මෙම දූත පිරිසට ඇතුළත්ව සිටියහ.

 

1 2

3 4

5 6

7 8

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි