ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා 8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහභාගි වෙයි

දිනය : 2024-07-25

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ දූත පිරිසක්  2024 ජූලි 21 සිට 25 දක්වා චීනයේ යුනාන් පළාතේ කුන්මිං හි පැවත්වෙන 8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහභාගී විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු පියංකර ජයරත්න, ගරු එම්.එස්. තවුෆීක් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීන්ගෙන් මෙම දූත පිරිස සමන්විත විය.

ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අමතමින් කථානායක ගරු අබේවර්ධන මහතා පෙන්වා දුන්නේ 2013 වසරේ ආරම්භයේ සිටම  ආර්ථික සහ වෙළඳ හුවමාරුව වර්ධනය කිරීම සඳහා චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය සුවිශේෂි කාර්යභාර්යක් ඉටුකළ බවයි. මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවට ද  සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දෙමින් චීනය සහ දකුණු ආසියාතික රටවල් අතර සහයෝගීතාව  ශක්තිමත් කිරීමට ඉවහල්වූ බව කථානායකවරයා පෙන්වා දුන්නේය. එසේම චීන-ශ්‍රී ලංකා දිගුකාලීන මිත්‍රත්වයට මෙන්ම ආගත්තුක සත්කාරය වෙනුවෙන් කථානායක ගරු අබේවර්ධන මහතා චීනයේ වාණිජ අමාත්‍යාංශයට සහ යුනාන් පළාතේ රජයට සිය  කෘතවේදීත්වය පළ කළේය.

සිය සංචාරය අතරතුර  කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්   2024 ජූලි 24 වැනි දින පැවති 5 වැනි චීන-දකුණු ආසියා සහයෝගිතා සංසදයේ සමාරම්භක උත්සවය ද අමතනු ලැබීය. මෙහිදී “කලාපීය සංවර්ධනය සඳහා සම්මුතියක් ගොඩනැගීම” යන සංසදයේ තේමාවට අනුව ගෝලීය සංවර්ධන අභියෝග සඳහා සාමූහික විසඳුම්වල අවශ්‍යතාව ගරු කථානායකවරයා අවධාරණය කර සිටියේය. මෙම ගැටලුවලට විසඳුම් සෙවීම සදහා අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් යුතුව අත්වැල් බැඳගන්නා ලෙස ඔහු අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

දූත පිරිස යුනාන් පළාත් කමිටුවේ ලේකම් සහ යුනාන් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ගරු වැන්ග් නින්ග් සහ 14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති ගරු ඩිං ෂොන්ග්ලි යන මහත්වරු සමඟ ඉහළ පෙලේ සාකච්ඡාවලට ද එක්වූහ.

කථානායකවරයා චීන මහජන සමූහාණ්ඩුවේ 75 වැනි සංවත්සරයට සහ ‘සාමකාමී සහජීවනයේ ප්‍රතිපත්ති පහට අදාළ  70 වැනි සංවත්සරයට සුබ පැතුම් එක් කළේය. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින වසර 67 ක විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, වෙළඳ, ආයෝජන, සංස්කෘතික හුවමාරු සහ යටිතල පහසුකම් සංවර්ධනය යන ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය කරමින්  ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය සඳහා ශ්‍රී ලංකාව කැපවන බව ඔහු අවධාරණය කළේය.

 තවද, චීනයේ ‘එක් තීරයක් එක්මාවතක්’ මුලපිරීම යටතේ සහයෝගිතාව වර්ධනය කර ගැනීම, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය වැනි ප්‍රධාන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම පිළිබඳවද  සාකච්ඡා විය.

කථානායකවරයාගේ චීන සංචාරයේ න්‍යාය පත්‍රයට චීනයේ සීජීටීන් රූපවාහිනි නාලිකාව (China Global Television Network - CGTN) සමඟ සම්මුඛ සාකච්ඡාවක් ද ඇතුළත් වන අතර සූර්ය බලශක්ති මධ්‍යස්ථානයක්, අධි තාක්‍ෂණික හරිත කර්මාන්ත ප්‍රදර්ශනයක් සහ යුනාන් පළාතේ වෘත්තීය ප්‍රවාහන විද්‍යාලයක් නිරීක්ෂණය කිරීම ද අන්තර්ගත වේ.

 

2 3

4 1

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි