ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2024 ජූලි මස 12 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-07-12

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
(ii)    2020 වර්ෂය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iii)    2023 වර්ෂය සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv)    2022 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(v)    2023 වර්ෂය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව

(vi)    (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 25 වගන්තිය සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 ජනවාරි 12 දිනැති අංක 2366/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
    (අංක 02/2024 දරන සුරාබදු නිවේදනය)
(vii)    2024 වර්ෂය සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
(viii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ තායිලන්ත රාජධානිය අතර නිදහස් වෙළඳ ගිවිසුම සහ එම ගිවිසුම පිළිබඳ තොරතුරු ඇතුළත් සංක්ෂිප්ත ග්‍රන්ථය
(ix)    (81 අධිකාරය වූ) ණය සහනදායක ආඥාපනතේ 63 වගන්තිය සමඟ කියවිය යුතු 6 සහ 10 වගන්ති යටතේ  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 අප්‍රේල් 22 දිනැති අංක 2381/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ජේ. සී. අලවතුවල මහතා     -    පෙත්සම් දෙකයි
(ii)    ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා         
          
 (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සිට 5 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-

•    ආක්‍රමණික පැළෑටි හා සතුන් හේතුවෙන් ජෛව විවිධත්වයට සිදුවන හානිය අවම කිරීම

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට හානි විය හැකි ආක්‍රමණික පැළෑටි හා සතුන් හඳුනාගෙන, ඒවා නම් කිරීම මඟින් එම පැළෑටි හා සතුන් බෝ කිරීම හා ආනයනය කිරීම තහනම් කර ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කිරීමට රජය මැදිහත් වී කඩිනමින් අවශ්‍ය නීති සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    ක්‍රීඩා අමාත්‍යාංශයේ විගණන සහ නීති අංශ ශක්තිමත් කිරීමට වැඩසටහනක් සකස් කිරීම

වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රික‍ට් ඇතුළු ක්‍රීඩා සංගම් රැසක් අතිශය දූෂිත තත්ත්වයට පත් වී ඇති හෙයින් එම තත්ත්වය මැ‍ඬපැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ විගණන හා නීති අංශ ශක්තිමත් කිරීමට රජය විසින් වැඩසටහනක් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    ආගමික අන්තවාදය වැළැක්වීමේ අවශ්‍යතාවය

කවර රටක කවර ක්‍ෂේත්‍රයක වුව ද අන්තවාදී අදහස් තිබීම ඉතා හානිකර වන හෙයින් ද, ආගමික අන්තවාදය පිළිබඳව පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව සමාජයේ විශාල කතිකාවතක් ඇති වී තිබෙන හෙයින් ද, ආගමික අන්තවාදය මතුවීම හා ප්‍රවර්ධනය කිරීම වැළැක්වීම සහ එයට දැනටමත් ගොදුරු වී සිටින පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් රජය විසින් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ දී සිසු සිසුවියන් ලබා ගන්නා Z- අගය (Z- Score) මත සියලුම රාජ්‍ය අංශයේ රැකියා පුරප්පාඩු පිරවීම

රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී පැවති හා පවත්නා ආණ්ඩු විසින් දේශපාලන පක්ෂපාතීත්වය මත හෝ රුචි අරුචිකම් මත අනුගමනය කරන ලද ප්‍රතිපත්ති රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතල හානියක් සිදු කර ඇති හෙයින් ද, ඒ හේතුවෙන් දැඩි දේශපාලනීකරණයට ගොදුරු වී ඇති රාජ්‍ය සේවය මුළුමනින්ම ස්වාධීන කර ගැනීම‍ට අවශ්‍ය වන හෙයින් ද, අධ්‍යාපන සුදුසුකම් මත පමණක් රැකියා ලබා දීමේදී දක්ෂ හා සුදුසුකම් සහිත දරුවන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටුවන බැවින් තරුණ අසහනය මුලිනුපුටා දැමීමට ඉන් හැකිවන හෙයින් ද, දිස්ත්‍රික්කය තුළ ඇතිවන පුරප්පාඩු අදාළ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන්ට හිමිවීම හරහා රැකියාලාභීන්ගේ ආර්ථික සුරක්ෂිතතාව මෙන්ම ඉහළ කාර්යක්ෂම ‍සේවාවක් රාජ්‍ය අංශයට ලබා ගැනීම‍ට අවකාශ උදාවන හෙයින් ද, සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, අධිකාරි, මණ්ඩල සහ පළාත් සභා අනුබද්ධ සියලු ආයතනයන් හි රැකියා පුරප්පාඩු පිරවීම සඳහා අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ දී සිසු සිසුවියන් ලබා ගන්නා Z- අගය සැලකිල්ලට ගැනීමට අවශ්‍ය පියවර රජය විසින් ගනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    කඳුරට වෘත්තීය සමිති විරු දිනය ප්‍රකාශයට පත්කිරීම

කඳුරට වතුකර‍ කම්කරුවන් ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ එහි ආර්ථිකය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබාදුන් ප්‍රජාවක් වන හෙයින් ද, ප්‍රජාතන්ත්‍රවාදී අරගල ඔස්සේ තම අයිතිවාසිකම් දිනා ගනිමින් එම අරගලයන් හි දී සිය ජීවිත පූජා කළ වෘත්තීය සමිති විරුවන් එක් පොදු දිනක දී සිහිපත් කිරීම‍ මෙරට ජීවත්වන ඉන්දීය සම්භවයක් සහිත කඳුරට ජනතාවගේ දී‍ර්ඝ කාලීන ඉල්ලීමක් වන හෙයින් ද, 1939 දෙසැම්බර් සිට 1940 ජනවාරි දක්වා ශ්‍රී ලංකාවේ කඳුරට කම්කරු ප්‍රජාව විසින් වැටුප් වැඩි කරන මෙන් ඉල්ලා සිදු කරන ලද ප්‍රථම වෘත්තීය සමිති අරගලයේ දී සුදු ජාතිකයෙකු විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් “මුල්ලෝයා ගෝවින්දන්” නමැති කම්කරුවා ජීවිතක්ෂයට පත් වූ  හෙයින් ද, කඳුරට කම්කරු ප්‍රජාව විසින් සිදුකරන ලද අවිහිංසාවාදී අරගලයේ දී ජීවිතය පූජා කළ එම පළමු කම්කරුවා සහ ඉන් අනතුරුව කඳුරට කම්කරු ජනතා අයිතිවාසිකම් සහ සුභසාධනය සඳහා දියත් කෙරුණු බොහෝ වෘත්තීය සමිති අරගලයන් හි දී ජීවිත පූජා කළ අනෙකුත් විරුවන් සැමරීම සඳහා එම පළමු වෘත්තීය සමිති විරුවා මියගිය දිනය වන ජනවාරි 10 දින කඳුරට වෘත්තීය සමිති විරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය කටයුතු රජය විසින් සිදු කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්නයක් අසන ලදී:-

ගරු (මහාචාර්ය) චරිත හේරත් මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1503 ට 2024 ජූලි මස 23 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි