ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2024 ජූලි මස 09 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-07-09

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම

ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතාගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු කදිරවේලු සන්මුගම් කුහදාසන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
B : “විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
C : “ආගමන” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

A.    ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් 2024.06.19 දින අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එතුමාගේ වරප්‍රසාද, පරිහාර සහ බලතල උල්ලංඝනය කිරීම පිළිබඳව ගරු අග්‍රවිනිශ්චයකාරතුමාට පිටපතක් සහිතව මා වෙත යොමු කර ඇති 2024.06.25 දිනැති පැමිණිල්ල සම්බන්ධයෙන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිරීක්ෂණ ඇතුළත් එම කොමිෂන් සභාවේ ගරු සභාපති සහ සාමාජික ගරු විනිශ්චයකාරවරුන් දෙදෙනාගේ අත්සනින් යුතු 2024.06.26 දිනැති වාර්තාව සහ එම වාර්තාව සමඟ ගරු අග්‍රවිනිශ්චයකාරතුමාගෙන් ලද 2024.06.26 දිනැති ලිපිය

B.    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVIII කොටස;
•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XL කොටස;
•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LI හා LII කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXXV හා XXXVI කොටස්; සහ
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ I හා II කොටස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii)         2023 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)    2022 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iv)         2023 වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v)         2023 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi)    2021 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
(vii)        2022 වර්ෂය සඳහා විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව
(viii)    2023 වර්ෂය සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(ix)    රජයේ ගිණුම් පිළිබඳ කාරක විසින් සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා
(x)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2024 ජූලි 04 දිනැති අංක 2391/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(xi)    1974 අංක 35 දරන රේගු (සංශෝධන) පනතින් සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනතින් සංශෝධිත රේගු ආඥාපනතේ (235 අධිකාරය වන) 19(අ) වගන්තිය යටතේ රේගු ආනයන තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 ජුනි 18 දිනැති අංක 2389/07 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii)    2023 අංක 34 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2024.05.01 සිට 2024.06.07 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xiii)    2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ 26(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය සහිතව, සංචාරක සංවර්ධන ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 දෙසැම්බර් 28 දිනැති අංක 2364/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා                    
(ii)    ගරු නිමල් පියතිස්ස මහතා                   -    පෙත්සම් දෙකයි
(iii)    ගරු වීරසුමන වීරසිංහ මහතා                  

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
විශ්‍රාමිකයින්ගේ ගැටලු සඳහා විසඳුම්

(ii)    ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීම සඳහා යෝජනා

ගරු කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනා

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතාට 2024.07.09 දින සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු රැස්වීම්වලට නොපැමිණ සිටීම සඳහා, ගරු විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අවසරය හිමි විය.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා
තමන් සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිවේදනය

 

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -

(i)    ආංශික අධීක්ෂණ කාරක සභා

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධානවල සහ 2022 නොවැම්බර්  21 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා‍වෙහි  කුමක් සඳහන්ව තිබුණ ද, 2024 ජූලි 03 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් විසි දෙදෙනෙකුගෙන් (22) සමන්විත විය යුතු ය.

(ii)    අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධානවල සහ 2024 පෙබරවාරි  09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා‍වෙහි  කුමක් සඳහන්ව තිබුණ ද, 2024 ජූලි 03 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි සෞඛ්‍ය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් විසි දෙනෙකුගෙන් (20) සමන්විත විය යුතු ය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    ඉසිවර සංවර්ධන, සමාජ සත්කාරක හා පුණ්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ)
(ii)    මානව සම්පත් වෘත්තිකයන්ගේ සංගමය (සංස්ථාගත කිරීමේ)

නමැති පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු නීතිඥ මධුර විතානගේ මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 8 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී. අයිතම අංක 8 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-

(i)    ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii)    ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විසස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව (2021)
(iii)    ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශ (2021)
(iv)    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව (2022)
(v)    මාතර සමය සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(vi)    ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(vii)    සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථාන (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(viii)    ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන නියාමනය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රෝහිත අබේගුණවර්ධන මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1823 ට 2024 ජූලි මස 10 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි