ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2009-12-08

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ජාතික කාන්තා කොමිෂන් සභාව

ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යතුමිය විසින් කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරිම, ගරු කිරිම, වැඩිදියුණු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා කොමිෂන් සභාවක් පිහිටුවීම ද, කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර සම්මුතීන් සහ ප්‍රමිතීන් පිළිබඳ විධිවිධාන බලාත්මක කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.

ජාතික සේවක අධ්‍යයන ආයතන

කම්කරු සබඳතා සහ මිනිස් බල අමාත්‍යතුමා විසින් ජාතික සේවක අධ්‍යයන ආයතනයක් පිහිටුවීම සඳහා ද, එම ආයතනයේ පරිපාලනය සඳහා පාලක මණ්ඩලයක් පිහිටුවීම සඳහා ද, තාක්ෂණ කමිටු පිහිටුවීම සඳහා ද, වෘත්තීය සමිති පාසලක් පිහිටුවීම සඳහා ද පර්යේෂණ පැවැත්වීම, සමීක්ෂණ පැවැත්වීම හා ශ්‍රී ලංකාවෙහි කම්කරු අධ්‍යාපනය ප්‍රවර්ධනය අරභයා පුහුණුව සැපයීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන

පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා විසින් ඉදිකිරීම් සම්බන්ධ ජාතික උපදේශක සභාව සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අරමුදල පිහිටුවීම සඳහා ද, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය පිහිටුවීම සඳහා ද; ඉදිකිරීම් කර්මාන්තයේ කටයුතු නියාමනය කිරීම, විධිමත් කිරීම සහ ප්‍රමිතිකරණය කිරීම සඳහා ද, ඉදිකිරීම් කර්මාන්තයේ සම්පූර්ණ සංවර්ධනය සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


අද දින විසිර යෑමේදී මෙම පාර්ලිමේන්තුව 2010 ජනවාරි මස 05 වැනි අඟහරුවාදා පූ. භා. 9.30 වන තෙක් කල් තැබිය යුතුය යන යෝජනාව, ස්ථාවර නියෝග 43 යටතේ ඡන්ද විමසීමක් පවත්වා, (පක්ෂව 89, විරුද්ධව 54) සභාව විසින් සම්මත කරන ලදී.


පහත දැක්වෙන විශේෂ කාරක සභා සඳහා 2010 මාර්තු මස 31 වැනි දින දක්වා කාල සීමාව දීර්ඝ කළ යුතු බවට වන යෝජනා පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය:-

  • මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන ව්‍යසනයන් පරීක්ෂා කර බලා ඒවා වැළැක්වීම පිණිස ගතයුතු පියවර නිර්දේශ කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

  • මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

  • ශීඝ්‍රයෙන් ඉහළ යන රථවාහන අනතුරු පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන්ට "සමනලගිරි සතරාංග (නාඩි) වෛද්‍ය සභා (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ගරු ජයන්ත සමරවීර මහතාට "ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව

1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන 2009 දෙසැම්බර් මස 02 වැනි දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශය ගරු අග්‍රාමාත්‍ය, අභ්‍යන්තර පරිපාලන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.

හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති යෝජනාව වැඩි ඡන්ද 74 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 95 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 21 ක් ප්‍රකාශ විය.


පහත පරිපූරක මුදල් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i) ශීර්ෂය 306 - වැඩසටහන 02 (ප්‍රවාහන අමාත්‍යාංශය) - රු. 4,750,000,000

(ii) ශීර්ෂය 285 - වැඩසටහන 01 (කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය) - රු. 50,000,000


පහත පනත් කෙටුම්පත්හි (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 39 සිට 45 වශයෙන් සඳහන් වන) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කර ස්ථාවර කාරක සභාවලට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-

(i) පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථ සංවර්ධන සභාව (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව

(ii) මාතර රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (කොළඹ ශාඛාව) (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව

(iii) කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සුභසාධක අරමුදල (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව

(iv) ප්‍රේමදාස කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව

(v) ශ්‍රී සුමංගල සරණසේවා පදනම (සංස්ථාගත කිරීමේ) - "බී" ස්ථාවර කාරක සභාව

(vi) අල් ජමියාතුල් හ්හව්සියා (සංස්ථාගත කිරීමේ) - "බී" ස්ථාවර කාරක සභාව

(vii) හඟුරන්කෙත මාදන්වෙල රජමහා විහාර සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) - "බී" ස්ථාවර කාරක සභාව


පහත පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 47 සිට 54 වශයෙන් සඳහන් වන) සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී:-

(i) සම් භාරය (සංස්ථාගත කිරීමේ)

(ii) ශ්‍රි ලංකා කුඩා කර්මාන්ත මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන)

(iii) අල්හාජ් එස්. එම්. එම්. හුසේන් පුණ්‍යය භාරය (සංස්ථාගත කිරීමේ)

(iv) මහින්දානන්ද අලුත්ගමගේ පදනම (සංස්ථාගත කිරීමේ)

(v) ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමනාකරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ)

(vi) සමෝදා පදනම (සංස්ථාගත කිරීමේ)

(vii) ග්‍රාස්රූට්ස් පදනම (සංස්ථාගත කිරීමේ)

(viii) වාරියපොල රාජමහා විහාර සංවර්ධන සභාව (සංස්ථාගත කිරීමේ)



අනතුරුව, සභාව පැය 1543 ට 2010 ජනවාරි මස 5 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි