ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මන්ත්‍රීවරියන්ගේ සංසදය නවසීලන්තයේ හිටපු අගමැතිවරියන් වන ජසින්ඩා ආර්ඩන් සහ හෙලන් ක්ලාක් හමුවෙයි

දිනය : 2023-08-02

නවසීලන්තයේ අධ්‍යයන සංචාරයක යෙදී සිටින ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නවසීලන්තයේ හිටපු අගමැතිවරියන් වන ජසින්ඩා ආර්ඩන් සහ හෙලන් ක්ලාක් යන මහත්මීහු පසුගියදා (ජූලි 27) හමු විය.

දේශපාලනය තුළ කාන්තා නායකත්වය සවිබලගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය බහුවිධභාවය නගාසිටුවීම පිළිබඳ මෙහිදි දිර්ඝ වශයෙන් අග්‍රාමාත්‍යවරියන් සමග සාකච්ඡා කෙරිණි. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ ජසින්ඩා ආර්ඩන් මහත්මිය සිය පාලන කාලය තුළ ආර්ථික දේශපාලන අර්බුද මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සිය රටට නායකත්වය ලබා දීම පිළිබද සිය අත්දැකීම් මන්ත්‍රිවරියන් සමග බෙදා ගත්තාය. විශේෂයෙන් ඇගේ පාලන කාලය තුළ දරුවන් රැක බලා ගැනීමට රැකියාව අත් හල කාන්තාවන්ට නැවත රැකියා වෙළදපොලට පිවිසීම සදහා අවකාශ සැලසීම පිළිබද ඇති කරන ලද ප්‍රතිපත්ති, වැටුප් සමානතාවය ඇති කිරීම සදහා ගන්නා ලද ක්‍රියාමාර්ග, දරු උපතකදී වැටුප් සහිත මව්පිය නිවාඩු ලබාදිම, ළමා දරිද්‍රතාවය අවම කිරීම මෙන්ම රටතුළ මෙන්ම දේශපාලනය තුළදීද ස්ත්‍රී පුරුෂ සමාජ භාවයන්ට හසු නොවන අනෙකුත් ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම  ආදී කරුණු පිළිබද මෙහිදී මන්ත්‍රීවරියන්ගේ අවධානය යොමු විය.

එමෙන්ම නවසීලන්තයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය වන හෙලන් ක්ලාක් මහත්මියද ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙත සිය දේශපාලන අත්දැකීම් පිළිබද අදහස් දැක්වූ අතර, විශේෂයෙන් කාන්තාවන් සවිබල ගැන්වීම සදහා සිය ධුර කාලය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග මෙන්ම විශ්‍රාම දිවිය වෙනුවෙන් ඉතිරි කිරීම සදහා කාන්තාවන් දිරිමත් කිරීම සහ සිවිල් විවාහ ප්‍රතිසංස්කරණ පිළිබදවද සිය අදහස් ඉදිිපත් කළාය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පිළිගැනීම සදහා නවසීලන්තයේ මාඕරි (Maori) ප්‍රජාව නියෝජනය කරමින් සංස්කෘතිකාංගයක්ද මෙහිදී සංවිධානය කොට තිබිණි.

ගරු සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, ගරු සීතා අරඹේපොල, ගරු රෝහිණි කුමාරි විජේරත්න, ගරු (නීතිඥ) පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගරු ගීතා සමන්මලී කුමාරසිංහ, ගරු (නීතිඥ) තලතා අතුකෝරල, ගරු කෝකිලා ගුණවර්ධන, ගරු මුදිතා ප්‍රිශාන්ති, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු මංජුලා දිසානායක, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක සහ පාර්ලිමේන්තුවේ මාධ්‍ය කළමණාකාරිනි නිම්මි හාතියල්දෙනිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙරට දේශපාලනය තුළ කාන්තා නායකත්වය සවිබලගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සුරක්ෂිත කිරීම මෙන්ම ශ්‍රී ලාංකීය කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත් කිරීම අරමුණු කොට ගෙන මෙම අධ්‍යයන සංචාරය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පූර්ණ අනුග්‍රහය සහිතව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) විසින් සංවිධානය  කෙරිණි.

 

1 6

2 3 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි