“ක්‍රමය වෙනස් කරන්න නම් ක්‍රමයට ඇතුල් වෙන්න” ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධවීමට තෝරා ගැණුනු තරුණ නියෝජිතයන් අමතමින් ජනාධිපතිතුමා පවසයි |
දිනය : | 2023-05-13 |
- ලෝකයේ පළමු වතාවටයි තරුණයින්ට මේ අවස්ථාව ලැබෙන්නෙ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න - ජනාධිපතිතුමා
ක්‍රමය වෙනස් කරන්න නම් ප්‍රථමයෙන්ම ක්‍රමයට ඇතුළත් වන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධවීමට තෝරා ගැණුනු තරුණ නියෝජිතයන් අමතමින් ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධවීමට තෝරා ගැණුනු තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිතුමා අද (මැයි 13) මේ බව පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු වලට බාහිරින් තරුණ නියෝජිතයින් තෝරාගන්නා ලෝකයේ පළමු අවස්ථාව මෙය බවයි. මේ නිසා මෙය ඓතිහාසික අවස්ථාවක් බවත් මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස තමන් මෙම තරුණ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
සංශෝධනය කළ ස්ථාවර නියෝග යටතේ මෙම තරුණයින්ගේ සහභාගීත්වය සිදු වන්නේ පාර්ලිමේන්තු කමිටු සාමාජිකයින් ලෙස බවත් හුදෙක් නිරීක්ෂකයින් ලෙස නොවන බවත් මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය. මේ නිසා කමිටුවේ කාර්යන්වලදී මන්ත්‍රීවරුන්ගේ වාර්තාවට අමතරව මෙම තරුණ නියෝජිතයින්ගේ අදහස්ද ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. එබැවින් ක්‍රමවේදය වෙනස් කිරීමට ක්‍රමවේදයට ඇතුළත්වීම මුලින්ම කළයුතු බවත් ඒ සඳහා මෙය හොඳ අවස්ථාවක් වන බවත් ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාව අමතමින් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සඳහන් කළේ තරුණයන්ට මෙම අවස්ථාව සැලසීම මගින් නව සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයකට මෙරට පිවිසෙන බවයි. මෙම සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය මගින් ඉතා ගැඹුරු මෙන්ම නව දේශපාලන පරිච්ඡේදයකට පිවිසීමේ වගකීම මෙම තරුණයින් ඇතුළු රජයට පැවරෙන බවයි.
මෙහිදී අදහස් දක්වමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මේ රට තරුණ කැරලි දෙකකක් සහ තිස් අවුරුදු යුද්ධයකට මුහුණදුන් රටක් බවත් එබැවින් ඉතාමත් අවාසනාවන්ත යුග කීපයක් පසු කරමින් මේ රට ඉදිරියට පැමිණ ඇති බවත් ය. එබැවින් පාර්ලිමේන්තු කමිටු හා සම්බන්ධ වන මෙම තරුණ නියෝජිතයින්ගෙන් බුද්ධිමත් සහභාගීත්වයක් බලාපොරොත්තු වන බවත් ඒ මගින් සාර්ථක අනාගත වැඩ පිළිවෙළක් බලාපොරොත්තු වන බවත් පැවසීය.
තවද විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ රටේ අනාගතයේ හැරවුම් ලක්ෂයක් බවට මෙම අවස්ථාව පත් වනු ඇතැයි තමා විශ්වාස කරන බවයි. ඒ නිසා විපක්ෂය ලෙස මෙම ක්‍රියාදාමය ඉතාමත් සුබවාදීව දකින බවත් ඒ මහතා පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහතිමිය මෙම අවස්ථාව අමතමින් පැවසුවේ ගෝලීය වශයෙන් සියලු පාර්ලිමේන්තුවල නීති සම්පාදනය, අධීක්ෂණය, නියෝජනය සහ අයවැය විමර්ශනය ඇතුළු මූලික කාර්යයන් ශක්තිමත් කිරීම කෙරෙහි UNDP ආයතනය අවධානය යොමු කරන බවයි. ඒ හරහා එහි ක්‍රියාකාරීත්වයේ පළදායීතාව වැඩිදියුණු කිරීම සඳහා කාන්තාවන් සහ තරුණයන් ඇතුළු ජනතා කැමැත්ත සහ නියෝජනය තවදුරටත් වැඩිදියුණු කිරීමට තම ආයතනය බලාපොරොත්තු වන බවයි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහය සහිතව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද විෂය ක්ෂේත්‍රයන් 17 කට අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සදහා මෙම තරුණ නියෝජිතයන් පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව තෝරා ගැනීම සිදුවිය. මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබුණු අයදුම්පත් අතුරෙන් තෝරාගත් සුදුසුකම් සහිත අවු. 18 – 35 අතර වයසේ තරුණ නියෝජිතයක් 550 කට ආසන්න පිරිසකට මෙම වැඩමුළුවට ආරාධනා කොට තිබුණි.
මෙම අවස්ථාව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවල සභාපතිවරුන්, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් (ව්‍යවස්ථාදායක) ටිකිරි කේ. ජයතිලක මහතා, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම

















