ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට පාර්ලිමේන්තුවේදී අවසන් ගෞරව

දිනය : 2023-03-30

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන සහ  ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අද (මාර්තු 30) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව  දැක්වූහ.  

එමෙන්ම නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විරුද්ධ පාර්ශවයේ නායක ගරු සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද, කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්  රැසක් අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.

එසේම හිටපු ජනාධිපතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මහින්ද රාජපක්ෂ සහ ගරු මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තුවේ හිටපු  කථානායක  ගරු කරු ජයසූරිය යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

ඔවුනට අමතරව, තානාපති නිලධාරීන්, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රමුඛ මහලේකම් මඩුල්ල, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය , හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයන් හා පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම  පවුලේ ඥාතීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

අද පෙ.ව. 9.00 ට පමණ ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය රැගත් අවමංගල රථ පෙරහැර පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන පියගැටපෙළ අසලට පැමිණි අවස්ථාවේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා, නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා, ගරු පක්ෂ නායකවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිස විසින් දේහය බාරගැනීම සිදුවිය. අනතුරුව දේහය වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටුකොට ගනිමින් රතු පලස මතින් රැගෙන විත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි  විශේෂ උත්සව ශාලාවෙහි තැන්පත් කිරීම සිදුවිය.


අනතුරුව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමෙන් පසුව ශෝක ප්‍රකාශයක්ද සටහන් කළහ. ඉන් පසු නියෝජ්‍ය කථානායකතුමන්, විරුද්ධ පාර්ශවයේ නායකතුමන්, පක්ෂ නායකවරු, හිටපු ජනාධිපතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපති නිලධාරිහු මෙන්ම  පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය හා කාර්‍ය මණ්ඩලය ද අනෙක් අමුත්තන් ද සිය අවසන්  ගෞරව පුද කිරීමට  එක් වූහ.

අවමංගල්‍ය කටයුතු අවසන් වූයේ කථානායකවරයා ඇතුළු පිරිස ප්‍රමුඛත්වයෙන් රතු පලස මතින් දේහය අවමංගල්‍ය රථයෙහි යළිත් තැන්පත් කිරීමෙනි.

 

1 2

3 4

5 6

7 8

9 10

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි