ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සඳහා සීමාවාසික පුහුණු වැඩසටහනක්

දිනය : 2023-03-16

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපදයේ නියෝජිතායතනයේ (USAID) සහාය ඇතිව විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට ප්‍රතිපත්ති සංවර්ධන සහ රාජ්‍ය සේවයේ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම සදහා සීමාවාසික පුහුණු වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදී.

මෙහි සමාරම්භක උත්සවය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 01 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අතර, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර සහ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) මෙරට අධ්‍යක්ෂ තුසිතා පිලපිටිය යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ගරු කථානායකවරයා විසින් මෙහිදී සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන දේශනය පවත්වන ලදී.

මෙම වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකාවේ සියලුම ජාතික විශ්වවිද්‍යාල දැනුවත් කිරීමෙන් පසු, ඒ සඳහා ප්‍රතිචාර දැක්වූ විශ්වවිද්‍යාල අටෙන් මෙම පුහුණු වැඩසටහන සදහා විද්‍යාර්ථීන් තෝරා ගැනිණි. ඒ අනුව කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, පේරාදෙණිය, රජරට, යාපනය, රුහුණු සහ සබරගමුව යන රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් තෝරාගත් විද්‍යාර්ථීන් 35 දෙනෙකුට මේ සදහා අවස්ථාව හිමිවිය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමග එක්ව මෙම සීමාවාසික වැඩසටහන සමග සම්බන්ධ වන විද්‍යාර්ථීන්ට තෙදින නේවාසික වැඩමුළුවක් ද පවත්වන ලදී. ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් මෙම වැඩසටහනට අන්තර්ගත විය. පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු සහ අංශ ප්‍රධානීන් විසින් අදාළ දේශන ඉදිරිපත් කළ අතර වැඩසටහන අවසානයේ පැවති විවෘත සාකච්ඡාවකදී විද්‍යාර්ථීන්ට සිය  ගැටලු ඉදිරිපත් කිරීමටද  අවස්ථාව හිමිවිය.

මෙම තෙදින වැඩමුළුවෙන් පසු සීමාවාසික විද්‍යාර්ථීන් පාර්ලිමේන්තුවේ අදාළ අංශ වෙත වෙන් කිරීම සිදුකළ අතර සීමාවාසික කාලය තුළ ඔවුන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම් හිමිකරගැනීමට අවස්ථාව උදාවනු ඇත.

මෙම සීමාවාසික වැඩසටහනේ අන්තර්ගතය තුළ විවිධ වෘත්තීය මාර්ග සඳහා මඟ පෙන්වීම සහ කුසලතා සංවර්ධනය කිරීම සිදුවේ. පාර්ලිමේන්තුව සහ තරුණයින් අතර පවතින සබඳතාව හා විශ්වසනීයත්වය වර්ධනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිළිබඳව තරුණ තරුණියන් දැනුවත් කිරීම හා ‘විවෘත පාර්ලිමේන්තුවක්’ යන සංකල්පය වර්ධනය කිරීම ද මෙමගින් අරමුණු කොට ගෙන තිබේ.

 

1 2

3 4

5 6

7 8

9 10

11 12

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි