ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දැයේ දූ දරුවන්ට පාර්ලිමේන්තුවෙන් ළමා කෘතියක්

දිනය : 2022-11-28


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් ප්‍රකාශිත “පුංචි දූපතේ  කුරුලු කතන්දරය” ළමා කෘතිය,  ‌ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (නොවැ.  27)  කොළඹ මහජන පුස්තකාලයේ, ළමා අංශයේදී එළි දැක්විණි.

අනාගත නායකත්වයට සූදානම් වන දැයේ දරුවන් තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහ ශ්‍රී ලංකා  පාර්ලිමේන්තුව පිළිබඳව සරල බසින් රසවින්දනාත්මක්මකව පැහැදිලි කෙරෙන මෙම ළමා කෘතිය සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම පළ කර ඇත.

මෙහිදී පාර්ලිමේන්තුවේ  මහලේකම් ධම්මික දසනායක මහතා විසින් කෘතියේ මුල් පිටපත කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගැන්වීම සිදුවිය. අනතුරුව කථානායකවරයා විසින් මෙම අවස්ථාවට සහභාගී වූ දරු දැරියන් පිරිසකට මෙම කෘතිය ප්‍රදානය කරන ලදී.

අනතුරුව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සිංහල බසින්ද,  අධ්‍යක්ෂ (පරිපාලන) ජී. තච්චනරාණි මෙනෙවිය දමිළ බසින් ද පැමිණ සිටි දරුවන්ට කෘතියේ අන්තර්ගත කතාව ඉදිරිපත් කිරීම සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා පැවසුවේ විභාග පමණක් ඉලක්ක කරගත් අධ්‍යාපනය වෙනුවට දරුවන්ට තම පරිසරය වටපිටාව හා දේශපාලනය පිළිබද මූලික අදහසක් රසවින්දනාත්මකව කුඩා කළ සිටම ලබා දිය යුතු බවයි. ඒ අරමුණ සහිතව රචිත මෙම කෘතිය සදහා දායක වූ සියලු දෙනාට සිය ස්තූතිය ද පළ කරන බව කථානායකවරයා සදහන් කළේය.

සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාගේ සංස්කරණ දායකත්වයෙන් සම්පාදිත මෙම ළමා කෘතිය  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිපුනි බලගමගේ, ඉෂාරා වික්‍රමසිංහ, රිෂ්මියා නූටාන්, එස්. ජෙය ප්‍රකාශ්, මහේශ්වරන් පිරසාත් සහ පී. රුද්‍ර කුමාර් යන කර්තෘ මඩුල්ල විසින් රචනා කොට ඇත. එසේම සරසවි ප්‍රකාශනයක් වන මෙම කෘතිය මුද්‍රණය සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වා ඇත්තේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) විසිනි.

මෙම අවස්ථාවට සමගාමීව දරුවන් සදහා චිත්‍ර ඇදීමේ වැඩසටහනක්ද පැවැත්විණි.

ශ්‍රී ලාංකේය ළමා පරපුර  තුළ පාර්ලිමේන්තුව පිළිබඳ අවබෝධයක් ඇතිකරලීම වෙනුවෙන් මෙවන් සාහිත්‍යමය නිර්මාණයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්  මුද්‍රණයෙන් එළිදැක්වූයේ ඉතිහාසයේ  ප්‍රථම වරටය.

පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා, කොළඹ මහනගර සභාවේ වැඩබලන ගරු නගරාධිපති අල් - හාජ් එම්.ට්.එම්. ඉක්බාල් මහතා, කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලයාධිපති වරුණි ගගබඩආරච්චි මහත්මිය, ළමා අංශයේ පුස්තකාලයාධිපති එච්.ඒ.එස්. සදමාලි මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක්ද , NDI ආයතනයේ නියෝජිතයන් වන තරංගා ගුණසිංහ, චමනි ප්‍රේමතිලක යන මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
පාර්ලිමේන්තුවට පැමිණෙන සියලු  ප්‍රාථමික පාසැල්වල  පුස්තකාල සඳහා මෙම ළමා කෘතිය ඇතුළු පොත් කට්ටලයක් පිරිනැමීමට පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඉදිරියේදී අපේක්ෂා කරන අතර ඒ සම්බන්ධව පහත දුරකථන අංකවලින් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

දු.අ. - 0112777318/ 0779899085

 

1 2

3 4

5 6

7 8

9 10

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි