ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සහභාගීත්වයෙන් පැවති ‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ අනුකමිටු දෙකක් පිහිටුවීමට තීරණය කෙරේ

දිනය : 2022-09-29

'ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී අනු කමිටු දෙකක් පත් කිරීමට තීරණය කර තිබේ. ඒ කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට මෙන්ම ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කර ගැනීමටය.

මෙම තීරණ ගනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.09.29 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ‘ජාතික සභාවේ’ පළමු රැස්වීමේදී ය. මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, ආණ්ඩු පක්ෂයේ  ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අසංක නවරත්න, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ජීවන් තොන්ඩමන්, සිසිර ජයකොඩි, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, අලි සබ්‍රි රහීම්, රෝහිත අබේගුණවර්ධන, වජිර අබේවර්ධන, අමාත්‍ය ටිරාන් අලස්, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්, චම්පික රණවක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාද මීට එක්විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2022.09.20 ජාතික සභාව ස්ථාපිත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර බෙදීමකින් තොරව එය සම්මත විය. ඒ අනුව දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකවරයා 2022.09.23 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ජාතික සභාවේ පළමු රැස්වීමේන් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයද ජාතික සභාවේ රැස්වීමට පැමිණ සිටි බවය. මෙම සුබදායී පණිවුඩය ජාතික වශයෙනුත්, පාර්ලිමේන්තු වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහාත්, ජනතාව හා පාර්ලිමේන්තුව අතර ඇති විශ්වාසය තව දුර‍ටත් තහවුරු වීම සඳහාත් විවෘත කෙරුණු අලුත් දොරටුවක් බවද ඔහු පැවසීය.

සෑම පාර්ලිමේන්තු සතියකම බ්‍රහස්පතින්දා ජාතික සභාව රැස්වීමට ද 2022.09.29 රැස්වීමේදී තීරණය වී තිබේ.

 

1 2

3 4

5 6

7 8

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි