ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව හෙට (16) සෙනසුරාදා රැස්වේ

දිනය : 2022-07-15

  • ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව හෙට පාර්ලිමේන්තුවට නිවේදනය කෙරේ
  • පෙර තීරණය කළ පරිදි නාම යෝජනා කැඳවීම ලබන 19 වැනිදා, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම 20 වැනිදා - අද පැවති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා දැනුම් දෙයි

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව හෙට (16) සෙනසුරාදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරයන් වෙත දැනුම් දෙයි.

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතුය.

මේ අනුව එම පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව මහලේකම්වරයා විසින් හෙට (16) නිවේදනය කිරීමට නියමිතව ඇත.

මේ අතර අද පෙ.ව. 10.00 ට රැස්වූ පක්ෂ නායක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා දන්වා සිටියේ  මීට පෙර පක්ෂ නායකයන් විසින් තීරණය කළ පරිදි ලබන 20 වැනිදා නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා ගැනීම සිදුකරන බවයි.

ඒ අනුව  ලබන 19 වන අගහරුවාදා නාමයෝජනා කැඳවීමත් ඉන් අනතුරුව ලබන 20 වැනි බදාදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව මන්ත්‍රීවරයෙකු ජනාධිපතිධුරය සදහා තෝරා ගැනීම සිදුවන බවත්  මෙහිදී කථානායකවරයා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මෙම ක්‍රියාවලිය නෛතික ප්‍රතිපාදන අනුව කිසිදු බාධාවකින් තොරව කඩිනමින් සිදු කිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද කථානායකවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි