ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නව පාර්ලිමේන්තු සැසිවාරය ජනවාරි 18 වනදා

දිනය : 2021-12-13

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ලබන ජනවාරි 18 වැනිදා පෙ.ව. 10.00 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ එක් සැසිවාරයක් අවසන්කොට නව සැසිවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමටද අවස්ථාව ඇත.

පාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් යථා පරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද  ප්‍රශ්න සහ යෝජනා අහෝසි වන අතර මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුය. තවද පාර්ලිමේන්තුවේ  උසස් නිලතල පිළිබඳ කාරක සභාව හා විශේෂ කාරක සභා (තේරීම් කාරක සභා) හැර අනෙකුත් සියලු කාරක සභා නව සැසිවාරයේදී නැවත පත්කළ යුතුය.

මේ අනුව පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ජනවාරි 11 වන දින පාර්ලිමේන්තුව රැස් නොවන අතර ජනවාරි 18 වන දින නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ කෙරේ.

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි