හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ගුණානුස්මරණය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ ධර්ම දේශනාමය පිංකමක් |
දිනය : | 2021-02-23 |
|
හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අමිල, විශිෂ්ට සහ ශ්‍රේෂ්ඨ සේවයක් රටට කළ බව බම්බලපිටිය ශ්‍රී වජිරාරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක ධූරන්දර, අග්ග මහා පණ්ඩිත, අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමිපාණෝ පවසති.
වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා ශ්‍රී ලාංකේය දේශපාලනයේ නොකැළැල් චරිතයක් බවත් නවක දේශපාලඥයන්ට එතුමාගේ චරිතයෙන් බොහෝ දේ ලබාගත හැකි බව නාහිමිපාණෝ පෙන්වා දුන්හ.
දිවංගත හිටපු කථානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා ගුණානුස්මරණය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ උත්සව ශාලාවේ දී ඊයේ (22) පවත්වනු ලැබු විශේෂ ධර්ම දේශනාමය පිංකමේදී උන්වහන්සේ මේ බව පැවසුහ.
ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පිංකමට වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ පවුලේ සමීපතමයින්, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය එක් විය.
ධර්මදේශනයට පෙරාතුව පාර්ලිමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ජය ශ්‍රී මහා බෝධීන් වහසේගේ ශාඛාව ඉදිරිපිට දී වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ පවුලේ සමීපතමයින්, කථානායකවරයා, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය එක්ව එතුමාට පිං පැමිණවීමේ කටයුත්තක් ද සිදු කෙරිණ.
පාර්ලිමේන්තුවේ බෞද්ධ සංගමය සහ පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය එක්ව මෙම පිංකම සංවිධානය කළේය.