ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිදහස් දින පණිවිඩය

දිනය : 2021-02-03

hon-speaker-myaවර්තමාන ගෝලීය කොවිඩ් අර්බුදය  හමුවේ වුවද ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන්  එක්සත්ව, එක්සිතින් ඉසුරුමත් සහ සෞභාග්‍යවත් හෙට දිනකට පිය නැගීමේ තිර අදිටනින් මෙරට 73 වන ජාතික නිදහස් දින සැමරුම් දිනය අභිමානයෙන් සැමරීම වෙනුවෙන් අපි මෙවරද  පෙළ ගැසී සිටිමු.

1948 පෙබරවාරි මස 04 වැනිදා යටත්විජිත පාලකයන්ගෙන් නිදහස දිනාගැනීමේදී මෙරට සියලු ජාතීන්ගේ එක්සත්බවද සමඟියද  අප‍ තුළ වූ  අපරාජිත ශක්තිය විය. ජාති , ආගම් , වර්ණ, කුල, ගෝත්‍ර, පක්ෂ වැනි පටු භේද නොසලකන්නට තරම් එදා ලාංකිකයන් අතර වූ නිදහස පිළිබඳව අර්ථය බලවත් විණි. එදා  නිදහස් වූ ශ්‍රී ලංකා මාතාව වර්තමානය තෙක්  සිය දරුවන් කැටුව පැමිණියේ පහසු ගමනක් නොවේ. අතීතයේ පටන් සතුරු උවදුරු, රෝ බිය ඇතුළු සියලු අභියෝග මධ්‍යයෙහි ඇගේ ආදරණීය දරුවෝ ඒ දිගු ගමනෙහි ඇයව දිවිපුදා  ආරක්ෂා කිරීමටද නොපැකිළුණහ. ඒ නිසාම, මේ වසරෙහි යෙදෙන ජාතික නිදහස් දින සැමරුම් දිනය ද අප සමරනුයේ ඉමහත් අභිමානයෙනි, ගෞරවයෙනි.

වෙසෙසින්ම , ලොව පුරා  සියලු රටවල් ගොදුරුව සිටින කොවිඩ් අභියෝගය ඉදිරියේ  සිය පෞද්ගලික නිදහස සහ දිවි නොතකා අද අපගේ මාතෘභුමිය සුරක්ෂා කිරීමෙහි නියුක්ත වන සියලු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල  සාමාජිකයන්ට, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද  ජනාධිපතිතුමන්ද අග්‍රාමාත්‍යතුමන්ද සියලු වගකිවයුතු බලධාරීන් මෙන්ම සමස්ත ජනතාවද අපගේ සුවිසෙස්  ගෞරවයට පාත්‍ර විය යුතුය. එසේම,  එම රෝගයෙන් පීඩා විඳින සියලු ශ්‍රී ලාංකිකයන්ට අපි  ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිමු.

තවද ත්‍රස්තවාදය නිමාකොට සාමයේ අරුණළු තුළින් සංවර්ධනය කරා පියමනින නිදහස් නිවහල්  ශ්‍රි ලංකාවට  වර්තමානයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තරයෙන් නැගෙන අභූත චෝදනා ද බැහැර කිරීමට මේ මොහොතේ  අප සියලුදෙනා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස  එක්ව පෙළ ගැසිය යුතු බව මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමි.

නිදහස් ශ්‍රී ලංකාවට පෙර සිටම මැතිවරණ මඟින් ආසියාවේ දීර්ඝකාලීන ප්‍රජාතන්ත්‍රවාදයකට හිමිකම් කියන අපි  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මඟින්  මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා මහජන අභිලාෂයන්ද සංකේතවත් කරමු. ඕනෑම රටක ඉදිරි අනාගත දිශානතිය තීරණය කෙරෙනුයේ  මෙබඳු ප්‍රජාතන්ත්‍රවාදී ආයතනික ව්‍යුහයන් විසිනි.

අපගේ අදහස නම්, මෙවර ජාතික නිදහස් දින සැමරුම් දින තේමාව වන ඉසුරුමත් හෙට දිනක්- සෞභාග්‍යවත් මව්බිමක් යන්න සැබැවින්ම අර්ථවත්ව සැමරීමට නම් සියලු ලාංකිකයන් පටු භේද නොසලකා එකමුතුව , තිරසාර ගමනක නිරත විය යුතු බවයි. එබැවින් මෙම සුවිසල් අභියෝගයට සාර්ථකව මුහුණ දී එකී ඉසුරින් සපිරි, සෞභාග්‍යවත් දේශය ගොඩනැගීමෙහිලා ඔබ සැමට මේ අභිමානවත් මොහොතේ ආරාධනා කර සිටිමි.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි