තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මතයි |
දිනය : | 2016-06-24 |
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත අද දින (ජුනි 24) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත විය.
මෙම පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් 2016 මාර්තු 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඊයේ ආරම්භ වූ දෙවැනි වර කියවීමේ විවාදය අද දින ද පැවැත්විණි.
තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම් සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම, තොරතුරු වෙත පිවිසීම ප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීම, තොරතුරු නිලධරයන් පත් කිරීම, තොරතුරු ලබා ගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහ ඊට සම්බන්ධ කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම මෙම පනත් කෙටුම්පතේ මූලික අරමුණ වේ. තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම් බලාත්මක කිරීම මඟින් පොදු අධිකාරිවල විනිවිදභාවය හා වගකීම පිළිබඳ සංස්කෘතිය පෝෂණය කිරීම, එමගින් ශ්‍රී ලංකාවේ මහජනතාවට යහපාලනය සඳහා වැඩි වශයෙන් සහභාගි විය හැකි සහ රටේ පොදු ජන ජීවිතයේ දී සක්‍රීය ලෙස සහභාගි විය හැකි සමාජයක් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.
පනතේ විධිවිධාන සක්‍රීය ලෙස බලාත්මක වීම සහතික කිරීම ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යාංශයේ වගකීම වේ.
මෙම පනතේ 5 වැනි වගන්තියේ විධිවිධානවලට යටත්ව, පොදු අධිකාරියක සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරු වලට පිවිසීමේ අයිතිය සෑම පුරවැසියකුට ම හිමිවේ. තොරතුරුවලට පිවිසීම ප්‍රතික්ෂේප කිරීම පහත සඳහන් කරුණු මත සිදුවේ:
යම් පොදු කටයුත්තකට අදාළ නොවන පුද්ගලික කරුණු, රාජ්‍ය ආරක්ෂාවට අගතිදායක වීම, අන්තර්ජාතික ගිවිසුම් හෝ බැඳීම් සමග ශ්‍රී ලංකාවට අගතිගාමී වීම, රටේ ආර්ථිකයට අවාසි වීම, වාණිජ රහස්, බුද්ධිමය දේපළ පිළිබඳ රහසිගත කරුණු, වෛද්‍ය වාර්තා, නීතිපතිවරයා ඇතුළු නිලධාරීන් හා පොදු අධිකාරයන් අතර පවතින හෙළි නොකළ යුතු සන්නිවේදන, අපරාධ පරීක්ෂණවලට බාධා වන තොරතුරු, අධිකරණයට අපහාස වන තොරතුරු, පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වන තොරතුරු සහ විභාග දෙපාර්තමේන්තුවේ රහසිගත තොරතුරු යනාදියයි.
අමාත්‍යාංශ දෙපාර්තමේන්තු, සංස්ථා, පළාත් පාලන ආයතන, රජය විසින් ප්‍රමාණවත් අරමුදල් සපයන රාජ්‍ය නොවන සංවිධාන, උසස් අධ්‍යාපන ආයතන, අධිකරණ යනාදිය තොරතුරු සැපයීමට බැඳී සිටින අතර ඒ සඳහා වාර්තා පවත්වාගෙන යා යුතුය. එමෙන්ම සියලු වාර්තා ඉලෙක්ට්‍රොනික ස්වරූපයෙන් ආරක්ෂා කර තැබීම සඳහා උත්සුක විය යුතුය.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවිය යුතුය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබේ. එය ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය, ප්‍රකාශකවරුන්ගේ, කතෘවරුන්ගේ සහ ජනමාධ්‍යවේදීන්ගේ සංවිධාන සහ වෙනත් සිවිල් සමාජ සංවිධානවල නියෝජිතයන් පස් (5) දෙනෙකුගෙන් සමන්විත විය යුතුය. ඔවුන් නීතිය, පරිපාලනය, විද්‍යා, තාක්ෂණ, කළමනාකරණය, පුවත්පත් කලාවේදී යනාදී ක්ෂේත්‍රවල මනා අත්දැකීම් සහ ප්‍රවීනත්වය සහිත සුවිශේෂී පුද්ගලයන් විය යුතුය. පොදු අධිකාරීන් හි සහ තොරතුරු නිලධාරීන්ගේ කාර්ය භාරය අධීක්ෂණය කිරීම මෙම කොමිෂන් සභාවට පැවරේ.
සෑම පොදු අධිකාරියක් විසින් ම තොරතුරු නිලධාරීන් පත් කරනු ලැබිය යුතුය. තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන යම් පුරවැසියෙකු විසින්, උචිත තොරතුරු නිලධරයාට ලිඛිතව ඉල්ලීමක් කළ යුතුය. තොරතුරු නිලධරයෙකු විසින්, හැකි ඉක්මණින් ඉල්ලා සිටින ලද තොරතුරු සැපයීමට හෝ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හෝ තීරණය කළ යුතුය. තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඒ සඳහා බලපාන හේතු ඉල්ලුම් කරන්නන්හට දන්වා සිටිය යුතුය.
තොරතුරු නිලධාරීන්ගේ තීරණ පිළිබඳ අතෘප්තියට පත් වන ඕනෑම පුද්ගලයෙකුට කොමිෂන් සභාවට සිය අභියාචනය ඉදිරිපත් කළ හැකිය. කොමිෂන් සභාවේ තීරණයකින් අතෘප්තියට පත්වන පුරවැසියකුට අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






