ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 134 වැනි සම්මේලනයට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහභාගී වෙති

දිනය : 2016-03-21

කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු වසන්ත සේනානායක, නගර සැලසුම්කරණ සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ. කාදර් මස්තාන්, ගරු කවීන්දිරන් කෝදීස්වරන් සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක යන මහත්ම මහත්මීගේ සහභාගීත්වයෙන් යුතු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් 2016 මාර්තු මස 19 වැනි දින සිට 23 වැනි දින දක්වා සැම්බියා ජනරජයේ ලුසාකා නගරයේ පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 134 වැනි සම්මේලනයට සහභාගී වෙති.

 

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන පිළිබඳව තොරතුරු සපයාදීම පිණිස 2016 මාර්තු මස 18 වැනි දින පැවැත්වෙන එම සංගමයේ සැසියට සහභාගී වන ලෙස මෙම නියෝජිත පිරිසට එම සංගමය විසින් ආරාධන කර තිබේ. මේ වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අභාවප්‍රාප්ත ගරු ජෝසප් පරරාජසිංහම්, ගරු නඩරාජා රවිරාජ්, ගරු ටී මහේෂ්වරන්, ගරු ඩී.එම්. දසනායක යන මහත්වරුන්ගේ ඝාතනයන් පිළිබව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. ශ්‍රීදරන් මහතා ඝාතනය කිරීමට ගත් උත්සාහය යන සිද්ධීන් සම්බන්ධයෙන් මෙම කොමිසම ඉදිරියේ විමර්ශන 05 ක් සිදු කෙරෙමින් පවතී.

 

බංග්ලාදේශය, ස්විට්සර්ලන්තය, බහරේන්, එක්සත් රාජධානිය, ජර්මනිය, සෙනගාලය, ඇෆ්ගනිස්ථානය, චිලී සහ කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජය යන රටවල සාමාජිකයින්ගෙන් සමන්විත වන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම විසන් ආරම්‍භයේදීම ශ්‍රී ලංකා නියෝජිත පිරිස එම කොමිසම වෙනුවෙන් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසමෙහි සභාපති ගරු ඒ.බී.එම්. ෆාස්ලේ කරීම් චවුඩ්හරි මහතා එකී පැමිණිලි සම්බන්ධයෙන් කොමිසම විසින් සිදුකරගෙන යනු ලබන විමර්ශනවලට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ලබාදෙන සහයෝගය සහ අනුග්‍රහය පිළිබඳව නියෝජිත පිරිසට ස්තුතිය පළ කළේය.

 

එකී සිදුවීම්වලට අදාළ වර්තම‍‍ාන තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව කොමිසම වෙත පැහැදිලි කිරීමක් සිදු කළ කථානායක ගරු කරු ජයසූරිය මහතා, එම සිද්ධීන්ගෙන් බොහොමයක් මේ වන විට අධිකරණ ඉදිරියේ විභාග වෙමින් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් අඛණ්ඩව කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් පැවසීය. එම නඩුවලට අදාළ තීන්දු ලැබුණු වහාම එම තීන්දු පිළිබඳව කොමිසම දැනුවත් කරන ලෙසට ඉල්ලා සිටි කොමිසම, හැකි ඉක්මනින් ඒ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹෙනු දැකීම සිය අපේක්ෂාව බව ද සඳහන් කළේය.

 

මානව හිමිකම් ආරක්ෂා කිරීම කෙරෙහි සුභවාදී ප්‍රතිඵල ගෙන දිය හැකි ක්‍රියාමාර්ග වන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම සහ පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ශක්තිමත් කිරීම යන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද කොමිසම ගරු කථානායකතුමාගෙන් විමසා සිටියේය. වර්තමානයේ එම කොමිෂන් සභා මනා ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන පියවර මේ වනවිටත් ගෙන ඇති බව කොමිසම වෙත පැහැදිලි කළ කථානායකතුමා, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තවදුරටත් ශක්තිමත් කිරීම පිණිස මෙරට සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගනු වස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීම සඳහා වන යෝජනාවක් 2016 මාර්තු මස 09 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගෙන ඇති බව ද කොමිසම වෙත පැහැදිලි කළේය.

 

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි