ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

වතු ආශ්‍රිත පාසල් පිහිටා ඇති ඉඩම් එම පාසල්වලට පවරාදීමේ වැඩපිළිවෙල පිළිබඳ මලයියාග වැවිලි ප්‍රජා‍වේ විකාශය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරේ

දිනය : 2024-07-17

මෙරට වතු ආශ්‍රිත පාසල් පිහිටා ඇති ඉඩම් වල අයිතිය එම පාසල්වලටම පවරාදීමේ වැඩපිළිවෙල පිළිබඳ මලයියාග වැවිලි ප්‍රජා‍වේ විකාශය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරිණි. ඒ එම සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වේලු කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජූලි 10) රැස්වූ අවස්ථාවේදීය.

මෙම රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ඇල්කඩුව වැවිළි සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ වතු ආශ්‍රිත පාසල් පිහිටා ඇති ඉඩම් එම පාසල්වලට පවරාදීමේ වැඩපිළිවෙල සංසදයේ මැදිහත්වීමෙන් මේ වනවිට සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බවයි. ලංකාවේ වතු ආශ්‍රිත පාසල් ප්‍රමාණය, එම පාසල් සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය සහ යම් විශේෂිත ඉඩම් අවශ්‍යතා ඇති පාසල් තිබේ නම් ඒවා සංඛ්‍යාව ආදි දත්ත අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු එක්ව එළඹෙන සතිය වනවිට සම්පූර්ණ කිරීමට සහ එකී දත්තවල නිවැරදිතාවය තහවුරු කර ගැනීමට මෙහිදී එකඟතාවය හිමි විය. අනතුරුව අදාළ ඉඩම් මැණීමේ කටයුතු ආරම්භ කළ හැකි බව සභාපතිවරයා සඳහන් කළේය.

වතු ආශ්‍රිත පාසල් සඳහා ලබා දෙන ඉඩමක ප්‍රමාණය උපරිම අක්කර 02ක් බවට ලබාදී ඇති කැබිනට් තීරණය වෙනස් කොට ඒ ඒ පාසල් සඳහා අවශ්‍යතාවය මත ඉඩම් ප්‍රමාණ ලබා දීමට හැකිවන පරිදි නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එයට අමතරව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ණය ආධාර මත මෙරට වතු ආශ්‍රිත පාසල් සඳහා සුහුරු පන්ති කාමර (Smart Classrooms) 60ක් ලබාදීම මෙන්ම එම ආධාර යටතේ සුහුරු රූපවාහිනී යන්ත්‍ර (Smart TV) සහ සුහුරු පුවරු (Smart Board) 800ක් ලබා දීම පිළිබඳවද නිලධාරින් විසින් කරුණු පැහැදිලි කරන ලදී.

එමෙන්ම වතු ආශ්‍රිත පාසල් වල පවතින ගුරු හිගය, ගණිත සහ විද්‍යා අංශයන්ගෙන් උසස් පෙළ හැදෑරිය හැකි පාසල් නොමැතිවීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම රැස්වීමට විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු සුජිත් සංජය පෙරේරා, ගරු ජේ. සී. අලවතුවල, ගරු අශෝක් අබේසිංහ, ගරු සෙල්වරාජා කජේන්ද්‍රන්, ගරු රෝහිණි විජේරත්න සහ  ගරු වී. රාධක්‍රිෂ්ණන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

1 8

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි