විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරික්ෂා කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ‘කෝපා’ කමිටුව හමුවට |
දිනය : | 2024-06-27 |
- දූෂණ අක්‍රමිකතා සිදු කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නිසි විනය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අප්‍රසාදය.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ කළමනාකරණ සහකාරවරියක් සිදුකළ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොගැනීම ගැන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අප්‍රසාදය පළ විය. 2011 - 2013 ජූලි දක්වා කාලය තුළ රුපියල් ලක්ෂ 14කට අධික මහජන ආධාර එම කළමනාකරණ සහකාරවරිය වංචාකර ඇත. කෙසේ වෙතත් 2013 වසරේ හඳුනාගෙන තිබු මෙම වංචාව වෙනුවෙන් විනය නියෝගය ලබාදී ඇත්තේ 2015 වසරේදී බව මෙහිදී අනාවරණය විය. අදාළ විනය පරීක්ෂණයෙන් පසු නැවතත් එම නිලධාරිනිය සේවයේ පිහිටුවා අදාළ වංචාකළ මුදල ලබා ගැනීමට වාරික වශයන් අයකර ගැනීමට කටයුතු කිරීම පිළිබඳව කාරක සභාවේ අප්‍රසාදය පලවිය.
මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2020, 2021 සහ 2022 යන වසර වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරික්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජුනි 20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී ඡාතික විගණන කාර්යාලයේ නිලධාරීහු පෙන්වා දුන්නේ අදාළ නිලධාරිනියගේ කාර්යයයන් නිතිපතා අධීක්ෂණය නොකිරීම මෙම වංචාවට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවයි. එම නිලධාරිනියගේ විශ්‍රාම පාරිතෝෂිකයද සම්පුර්ණ ලෙස අදාළ වංචාව පියවා ගැනීම වෙනුවෙන් කපාහැර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. කෙසේ වෙතත් මෙයාකාරයෙන් මහජන මුදල් වංචා කරන නිලධාරීන් හඳුනාගත්විට පළමුව සේවයෙන් ඉවත් කර අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් විගණන නිලධාරීහු එලෙස කටයුතු නොකිරීම වැරදි පූර්වාදර්ශයකට මග පාදන බව පෙන්වා දුන්හ. ඒ අනුව නැවත එවැනි වංචාවන් සිදුකිරීමට නිලධාරීන්ට අවස්ථාව නොලැබෙන ආකාරයෙන් කටයුතු කිරීමටත් වංචාවන් සිදුකරන නිලධාරීන් වෙනුවෙන් දැඩි විනය පියවර ගැනීමට කටයුතු කරන ලෙසටත් කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
තවද ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රතිලාභියා මියගිය පසු වංචා සහගතව විශ්‍රාම වැටුප් මුදල් ලබාගැනීම් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා විය. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 මගින් 2023 දෙසැම්බර් 31 වන දිනට විශ්‍රාම වැටුප් ලබමින් සිටි විශ්‍රාමිකයින් 419 දෙනක් සඳහා රුපියල් කෝටි 4කට වැඩි ප්‍රමාණයක් වැඩිපුර ගෙවා ඇති බව කාරක සභාවේදී අනාවරණය විය. මියගිය බව දැනුම් දීමට ප්‍රමාදවීම, ජීවිත සහතික ලබා නොදෙන විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර කිරීමට කටයුතු නොකිරීම, විශ්‍රාම වැටුප් චක්‍රලේඛවලට අනුගත නොවීම සහ වෙනත් හේතුන් මත මෙලෙස මෙම මුදල් ගෙවීම් සිදු කර ඇති බව විගණන නිලධාරීහු පෙන්වා දුන්හ. ඒ අනුව විශ්‍රාම වැටුප් ගෙවීමේදී සිදුවන අක්‍රමිකතා සහ ගැටලු හඳුනාගෙන ඒවා කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදී.
තවද ගම්පහ දිස්ත්‍රික්කයේ අක්‍රීය මට්ටමේ පවතින ව්‍යාපෘති පිළිබඳවද කාරක සභාවේදී සාකච්ජා කෙරිණි. අයවැය මගින් විවිධ ව්‍යාපෘති සඳහා වෙන්කරනු ලබන මුදල් නිවැරදි කාල සීමාවල භාවිතා නොකිරීම නිසා ගැටලුකාරී තත්ත්වයන් මතුවන බව විගණන නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. ඒ අනුව අර්ධ වශයෙන් සිදුකර ඇති ව්‍යාපෘති සඳහා වැයකර ඇති මුදල් ප්‍රමාණයන් සහ අර්ධ වශයෙන් නිමකර ඇති ව්‍යාපෘති වල අවශ්‍යතාවයන් පිළිබඳ වාර්තාවක් කාරක සභාවට යොමුකරන ලෙසට ද කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය.
තවද 2014 වසරේ දී මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේප්පුවේ පැවති රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් අතුරුදන්වීමේ අක්‍රමිකතාව පිළිබඳ වර්තමාන තත්ත්වය ද විමසා බලන ලදී. අදාළ අක්‍රමිකතාව සිදුව වසර 10ක් ගතවුවත් අදාළ වගකිව යුතු නිලධාරීන්ගෙන් එම මුදල් තවමත් ලබා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව කාරක සභාව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය. ඒ අනුව අදාළ අංශවෙත මේ පිළිබඳව නැවත සිහි කැඳවීම් සිදු කර රජයට අහිමි වූ මුදල නැවත ලබාගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ගරු ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ජයන්ත කැටගොඩ, ගරු මධුර විතානගේ, ගරු සහන් ප්‍රදීප් විතාන, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








