ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් නව කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු විධිවිධාන සහිත නව පනත කෙටුම්පතේ කටයුතු අවසන් කිරීමට ආබාධ සහත පුද්ගලයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය මැදිහත් වෙයි

දිනය : 2024-06-11

  • අවසන් කෙටුම්පත පිළිබඳ පැහැදිළි කිරීමක් (Presentation) ජූනි 14 වන විට සිදු කරන  ලෙසටත් දැනුම් දෙයි

 

ආබාධ සහිත ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සදහා නව කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු විධිවිධාන ඇතුළත් නව පනත් කෙටුම්පත අවසන් කිරීම සදහා කඩිනමින් පියවර ගන්නා ලෙසත් එහි අවසන් කෙටුම්පත ජූනි 14 වන විට සංසදයට ඉදිරිපත් කරන ලෙසත් ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතා  අදාළ සියලු පාර්ශ්වයන්ට පසුගියදා දැනුම් දුන්නේය.   

එම සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කළ අතර සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පැස්කුවල් මහතා ද මෙම අවස්ථාවට එක්විය.  

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් සදහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව මෙම පනත් කෙටුම්පත සකස්වන බවත් මෙහිදී අනාවරණය විය. එසේම කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව මෙය කෙටුම්පත් කළ යුතු බවත් මෙහිදී සංසදයේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය ඇතුළු සියලු පාර්ශ්ව මැදිහත්ව මෙය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය. අනතුරුව අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබාගෙන අවසන් ලියවිල්ල සකස්කළ හැකි බවත් සංසදයේ සභාපතිවරයා සදහන් කළේය.

මෙම කටයුතු සදහා අධිකරණ විෂයභාර අමාත්‍යවරයාගේ පූර්ණ මඟ පෙන්වීම සහ ආශීර්වාදය හිමිවන බවත් ඒ අනුව ලබන ජූනි 14 වැනිදා වන විට අවසන් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක්  (presentation) සංසදයට සිදු කරන ලෙස ද දැනුම් දුන්නේය.

එසේම මේ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සාකච්ඡාකොට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සදහා  විෂය භාර අමාත්‍යවරයා වන ගරු ජනාධිපතිවරයා හමුවීමට ද කඩිනමින් පියවර ගන්නා බව සංසදයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපනය සදහා දැනට පාසැල් 27ක් පවතින බවත් ඒවා පාලනය වන 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනත සහ එහි සංශෝධන විය යුතු විධිවිධාන පිළිබඳවත්  මෙහිදී අවධානය යොමු විය.
    
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු මධුර විතානගේ, ගරු වීරසුමන වීරසිංහ සහ ගරු ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහූ ද ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණෙහි නියෝජිතයෝද, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද මෙම ‍අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි