ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ළමුන් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ මඟපෙන්වීම යටතේ ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් පාසැල් දරුවන් දැනුවත් කිරීම සදහා සම්පාදිත පොත් පෙළ හා ඩිජිටල් මාධ්‍ය වැඩසටහන් මාලාව පිළිබඳ මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ශ්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී

දිනය : 2024-03-25

  • විවිධ බාධක මැද මෙරට ප්‍රජාව සහ සමාජයේ දැනුවත් වීම සදහා පොත් පෙළක් එළි දැක්වීමට හැකිවීම සමස්ත රටේම ජයග්‍රහණයක් - ළමුන් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය රෝහිණි විජේරත්න මහත්මිය පවසයි
  • මෙම පොත් පෙළ මුද්‍රණය කොට නොමිලේ සිසු දරුවන්ට ලබා දීමට කටයුතු කරනවා -  අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා

 

ළමුන් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ මඟපෙන්වීම යටතේ ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගිකත්ව අධ්‍යාපනය සම්බන්ධයෙන් පාසැල් දරුවන් දැනුවත් කිරීම සදහා සම්පාදිත පොත් පෙළ සහ ඩිජිටල් මාධ්‍ය වැඩසටහන් මාලාව පිළිබඳ මන්ත්‍රීවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු පාර්ශ්ව දැනුවත් කිරීමේ සහ ඒ සදහා දායකත්වය දැක්වූ පිරිසට ස්තූතිය පුද කිරීමේ වැඩසටහනක් පසුගියදා (මාර්තු 21) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ළමුන් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් පැවති මෙම අවස්ථාවට ඊට සම්බන්ධ වූ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද  විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටියහ.

ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගිකත්ව අධ්‍යාපනය සම්බන්ධයෙන් පාසැල් දරුවන් මෙන්ම ප්‍රජාව දැනුවත් කිරීම සදහා ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සභාපතීත්වයෙන් යුතු ළමුන් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ මඟ පෙන්වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ සාමාජිකත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන ලදී. එම කමිටුව සමග තවත් රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන හා විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව මෙම  පොත් පෙළ සහ ඩිජිටල් මාධ්‍ය වැඩසටහන් මාලාවක් සකස්  කළ  අතර පසුගිය මාර්තු 7 වැනිදා දොරට වැඩීම සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් ළමුන් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පැවසුවේ මෙරට දිනෙන් දින වැඩි වන ළමා අපයෝජන හමුවේ දරුවන් සහ ප්‍රජාව දැනුවත් කිරීම සදහා ‍ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳ පොත් පෙළක් සහ  ඩිජිටල් මාධ්‍ය වැඩසටහන් මාලාවක් හදුන්වාදීමට හැකිවීම සමස්ත රටේම ජයග්‍රහණයක් බවයි.  

මීට වසර ගණනාවකට පෙර ආංශික අධීක්ෂණ කාරක සභා ඔස්සේ ද මේ සදහා උත්සහ කළ ද විවිධ බාධක නිසා එය ඉටු කිරීමට නොහැකි වූ බව ද ඇය සිහිපත් කළාය. එසේම මෙය විශාල පිරිසකගේ ශ්‍රමයෙන් විශාල කාලයක් කැපකොට ඉටු කළ කර්තව්‍යයක් බැවින් ඔවුන් සියලු දෙනාටම ගෞරවනීය ස්තූතිය පුද කරන බව ඇය පැවසුවාය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ ළමුන් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවත් ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කළ යුතු බවත් ය. එසේම මෙම ‍වැඩපිළිවෙල කාලීන අවශ්‍යතාවක් සහිත විශිෂ්ට වැඩපිළිවෙලක් බවත් ඒ සදහා රෝහිණි විජේරත්න මැතිණිය ප්‍රමුඛ සියලු පාර්ශ්වයන්ට ස්තූතිය පළ කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එසේම ‍අධ්‍යාපන අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ කාලීන වශයෙන් වැදගත් වන මෙම පොත් පෙළ නොමිලේ මුද්‍රණය කොට සිසු දරුවන්ට බෙදා හැරීමට කඩිනමින් පියවර ගන්නා බවයි. එසේම මෙම කාර්ය ඉටු කිරීමට මැදිහත්වූ ළමුන් සදහා වන පාර්ලිමේන්තු සංසදය ඇතුළු සියලු පාර්ශ්වයන්ට සිය ගෞරවය පිරිනමන බවද ඒ මහතා සදහන් කළේය.

මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පළ කළ ග්‍රන්ථ පෙළ ගරු විපක්ෂනායකවරයාට සහ අධ්‍යාපන අමාත්‍යවරයාට පිළිගැන්වීම ද සිදුවිය. එසේම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පළ කළ ග්‍රන්ථ පෙළ සම්බන්ධව හදුන්වාදීම ද සිදුවිය. ඒ අනුව වයස අවු. 11 සිට වයස් කාණ්ඩ හතරකට අදාළව මෙම පොත් පෙළ ඉදිරිපත් කර ඇත. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්  ඉදිරිපත් කර ඇති ඇති ඩිජිටල් මාධ්‍ය වැඩසටහන් මාලාව පිළිබඳව ද හදුන්වා දීම සිදු විය. ඒ අනුව QR කේතයක් මඟින් ෆේස්බුක්, යූටියුබ්, එක්ස්, ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කෙටි වීඩියෝ වැඩසටහන් දරුවන් සහ ප්‍රජාවගේ දැනවත් බව වැඩි  කිරීම සදහා නිර්මාණය කර ඇත.

 

1 5

6 3

2 8

16 18

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි