ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි අනුමත කිරීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී නැවත සලකා බලයි

දිනය : 2024-03-20

2024.02.13 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අංක 2370/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ ඇති රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව ඒ සඳහා අනුමැතිය හිමිවිය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු  (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්  එම කාරක සභාව ඊයේ (මාර්තු 19)  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

සුදුසුකම් ලත් පුද්ගලයන් සඳහා නිශ්චිත HS කේත යටතේ විදුලි මෝටර් වාහන ආනයනය කිරීමේ කාලසීමාව 2023 දෙසැම්බර් 31 සිට  2024 අගෝස්තු 31 දක්වා දීර්ඝ කිරීම ඉහත සඳහන් රෙගුලාසියට ඇතුළත් වේ.

මාධ්‍යවල වාර්තා වූ පරිදි  කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද බලපත්‍ර අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන්  මෙහිදී කාරක සභාවේ අවධානය  යොමුවිය. ඍජුව වාහන ආනයනය සඳහා ආනයනකරුවන් වෙනුවට අතරමැදි සපයන්නන්  මේ සඳහා  භාවිත කිරීම පිළිබඳව කාරක සභාව විමසා සිටින ලදී. මේ සඳහා  අතරමැදි සපයන්නන් 12 දෙනා තෝරා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව  ද කාරක සභාව  වැඩිදුරටත් නිලධාරීන්ගේ ප්‍රශ්න කළහ. මෙම  අතරමැදි  පහසුකම් සපයන්නන් තෝරා ගනු ලබන්නේ නිශ්චිත නිර්ණායක මත පදනම්ව බවත්, සියලු නිර්ණායක  සපුරාලීමෙන්  පසුව ඔවුන් සඳහා  අනුමැතිය ලබා දීමට කටයුතු කරන බව  අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ.  මෙම වැඩසටහන මෙම ආයතන 12ට පමණක් සීමා නොවන බවත් ඕනෑම අයෙකුට  ඒ සඳහා අයදුම් කළ හැකි බවත් ඔවුහු  අවධාරණය කළහ. කෙසේ වෙතත් මෙහිදී  රේගු නිලධාරීන් ඔවුන් සිදුකළ විමර්ශනයෙන් 15% ක මිල විෂමතාවයක් අනාවරණය වී ඇති බව කාරක සභාවට දැනුම් දුන්හ. අතරමැදි සපයන්නන් හරහා ආනයනය කරන වාහන වටිනාකමින්  අඩු වීම  පිළිබඳවද  මෙහිදී  සාකච්ජා විය. මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් කාරක සභාව  සිය දැඩි  කනස්සල්ල පළ කරන ලදී .

ආනයනික වාහන සඳහා ,සුරාබදු සහ සුඛෝපභෝගී බදු වැනි තීරුබදු සහන පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ පැහැදිලි කිරීමට ප්‍රතිචාර වශයෙන්, රේගු නිලධාරීන් රේගු ආඥාපනතේ 51 වැනි වගන්තියේ ඇති විය හැකි සීමාවක් පිළිබඳව කරුණු  දැක්වූහ. එම කොටස  මගින්  භාණ්ඩයක සැබෑ මිල වෙනස් කර අඩු මිලට ලබාදීම  හඳුනාගැනීමේ  ගැටලුව විසඳීමට ඔවුන්ගේ  හැකියාව සීමා කරන  බවද ඔවුහු දැන්වුහ.

රාජ්‍ය ආදායම තවදුරටත් අහිමි වීම වැළැක්වීම සඳහා හදිසි සංශෝධනයක් අවශ්‍ය වන හා දැනට ප්‍රමාණවත් නීති මාලාවක් නොපවතින  තත්වයක්  ලෙස කාරක සභාව විසින් මෙය හඳුනාගෙන  ඇත. මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ  නිලධාරීහු  මෙම රේගු ආඥාපනත සංශෝධනය කිරීම සඳහා සිය උපරිම  දායකත්වය ලබා දෙන  බව  පැවසූහ. අදාළ සංශෝධන අනුමත කිරීමේ ප්‍රගතිය මාස දෙකක් ඇතුළත කමිටුවට  වාර්තා කරන ලෙසද  උපදෙස් දෙන ලදී. පාරදෘශ්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආනයනය කරන ලද වාහනවලට අදාළ තොරතුරු සමඟ ඔවුන්ගේ වෙබ් අඩවිය යාවත්කාලීන කරන ලෙස ද අමාත්‍යාංශයට උපදෙස් දෙන ලදී.

මේ අවස්ථාව සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) සුරේන් රාඝවන්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  ගරු රවුෆ් හකීම්, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු,ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු නිමල් ලාන්සා, ගරු චන්දිම වීරක්කොඩි,  ගරු මයන්ත දිසානායක, ගරු  හර්ෂණ රාජකරුණා, ගරු සහන් ප්‍රදීප් විතාන, ගරු එම්.ඩබ්ලිව්.ඩී. ඉසුරු දොඩංගොඩ, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත යන මහත්වරුන ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි