ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

“Blue Flag Beach” සංකල්පය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

දිනය : 2024-03-04

සංචාරක ආකර්ෂණය දිනාගැනීම වෙනුවෙන් මෙරට වෙරළ තීරය සකස්කිරීම අරමුණු කරගත් “Blue Flag Beach” සංකල්පය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (පෙබ. 20) දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී සාකච්ඡා කරන ලදි.

මෙම රැස්වීම සඳහා නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය, සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

එසේම මෙම කාරක සභාව සඳහා විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී විය.

මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ “Blue Flag Beach” තත්ත්ව සහතිකය ලබා ඇති වෙරළවල් කෙරෙහි සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය වන බවයි. ඊට හේතුව මෙම වෙරළවල් වඩාත් ආරක්ෂාකාරී වීම සහ ගුණාත්මක බවෙන් ඉහළ මට්ටමක පැවතීමය. ලෝකයේ දැනට රටවල් 50ක පමණ වෙරළ තීර 4000ක් පමණ “Blue Flag Beach” සහතිකය ලබා ඇති බව හෙතෙම වැඩි දුරටත් පැවසීය. නමුත් ලංකාවේ තවමත් “Blue Flag Beach” සහතිකය ලබා ගැනීමට වෙරළවල් ගුණාත්මක වශයෙන් සංවර්ධනය නොවීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවවල අවධානය යොමු විය යුතු බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී සමුද්‍රීය පරිසර අධිකාරිය පෙන්වා දුන්නේ ලංකාවේ මේ වන විට ප්‍රධාන වෙරළ තීර ‍12 “Blue Flag Beach” සංකල්පය  ක්‍රියාත්මක කිරීමට හඳුනාගෙන ඇති බවත් ඉන් වෙරළ තීර 4ක් ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමට මේ වන විටත් අවශ්‍ය පියවර ගනිමින් පවතින බවත්ය.
 
එසේම මෙහිදී විපක්ෂ නායක ගරු සජිත් ‍ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් වෙරළ ආශ්‍රිතව අනවසර ඉදිකිරීම වැළක්වීම සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව විමසා සිටින ලදි.

මේ අවස්ථාව සඳහා කාරක සභා මන්ත්‍රීවරුන් වන ගරු ජයන්ත කැටගොඩ සහ ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ.

 

14 12

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි