ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශ්ව සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

දිනය : 2024-02-13

  • ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් ග්‍රාමීය ජනතාව ලක්ෂ 28 ක් අගතියට පත්වී ඇති බව අනාවරණය වෙයි.
  • ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදී ඇත්තේ 38% ක 48% ක පමණ විශාල පොලියකට බව අනාවරණය වෙයි.
  • කාන්තාවන් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග රටවල ගෘහ සේවයට එක්වීමටත් ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය හේතුවක්
  • යෝජිත පනත් කෙටුම්පතෙන් අගතියට පත් පාර්ශ්ව වල ප්‍රශ්න ආමන්ත්‍රණය කර නෑ - අගතියට පත් පාර්ශ්ව වල නියෝජිතයින්

 

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශ්ව සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (පෙබ. 09) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් අගතියට පත් පුද්ගලයන් නියෝජනය කරන ලංකාවේ සංවිධාන කැඳවා තිබුණි. එසේම මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පැමිණ සිටියහ.

මෙහිදී අදහස් දක්වමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් අගතියට පත් පුද්ගලයන් නියෝජනය කරන ලංකාවේ සංවිධාන පෙන්වා දුන්නේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් ග්‍රාමීය ජනතාව ලක්ෂ 28 ක් පමණ අගතියට පත්වී ඇති බවත් ඉන් ලක්ෂ 24 කාන්තාවන් බවත් හදුනාගෙන ඇති බවයි. 2018 වර්ෂයේ කරන ලද සමීක්ෂණයකින් මෙම කරුණු හඳුනාගෙන ඇති බවද මෙහිදී සඳහන් විය. එසේම මෙම ණය ලබා දී ඇත්තේ කුඩා මුදලක් වුවද ග්‍රාමීය ජනතාවට ඒවා ගෙවාගැනීමට අපහසු ආකාරයෙන් 38% ක 48% ක පමණ පොලියක් අයකරගැනීමට කටයුතු කොට ඇති බවත් මේ නිසා ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්ව ඇති බවත් මෙහිදී නියෝජිතයින් පෙන්වා දුන්හ. තවද ග්‍රාමීය කාන්තාවන් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග රටවල ගෘහ සේවයට එක්වීමටත් ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය හේතුවක් වී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.

තවද ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ මේ අර්බුදය නිර්මාණය වී ඇත්තේ  මහ බැංකුවේ  අධීක්ෂණය යටතේ තිබෙන  බැංකු නොවන  ප්‍රධාන මූල්‍ය සමාගම්  හයක්  වෙතින් ණය  ලබාගත්    විශාලතම කණ්ඩායම තුළ බව මෙහිදී අනාවරණය වූ අතර මුලු  ක්ෂුද්‍ර මූල්‍ය ණය වන මිලියන 84,000 කින්  80% ක් එනම් රුපියල් මිලියන  67,000ක් මෙම ආයතන ලබා දී ඇති බවත් මේ වනවිට එම ණය ගත් අයගේ දේපළ අත්පත් කරගැනීම ආරම්භ කර ඇති බවත් මෙහිදී හෙළිදරව් විය.

එසේම යෝජිත පනන් කෙටුම්පතෙන් අගතියට පත් පාර්ශ්ව වල ප්‍රශ්න ආමන්ත්‍රණය කර නොමැති බවත් එමගින් ඔවුන්ට තවත් ගැටලුවලට මුහුණ දීමට සිදු වන බවත් මෙහිදී අගතියට පත් පාර්ශ්ව වල නියෝජිතයින් පෙන්වා දුන්හ.  

මෙහිදී ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ යෝජිත පනත් කෙටුම්පත නැවත සම්පූර්ණ සමාලෝචනයකට භාජනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි. ඒ අනුව රජය අපහසුතාවයට පත් නොකර, මහ බැංකුව හා  මුදල් අමාත්‍යාංශය එක්ව පනත මුළුමනින්ම සමාලෝචනය කරන ලෙසත්   ප්‍රධාන මූල්‍ය සමාගම් හය ආරක්ෂා කිරීමට නොව වින්දිතයන්ගේ සැබෑ ගැටලුවලට විසඳුම් ඉදිරිපත් වන ලෙස පනත සංශෝධනය කරන ලෙසත්  නියෝග කළ කමිටුව සතියක් තුළ එහි වාර්තාව පාර්ලිමේන්තු වෙත ලබා දෙන ලෙසද දන්වන ලදි. එසේ නොමැති නම් මෙරට ලක්ෂ 30/40 පමණ වන ක්ෂුද්‍ර මූල්‍ය පාරිභෝගියින්ට ගැටලුවලට මුහුණදීමට සිදුවන බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ නිසා ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් මේ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට බලාපෙරොත්තු වන බවද  ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

මෙම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු සරත් වීරසේකර, ගරු නිමල් ලන්සා, ගරු මෙහාහොමඩ් මුසම්මිල්, ගරු අසංක නවරත්න, ගරු වසන්ත යාපා බණ්ඩාර, ගරු නිමල් පියතිස්ස සහ ගරු ජයන්ත සමරවීර යන මහත්වරු සහභාගී වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි