ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට ආංශීක් අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

දිනය : 2024-01-22

  • පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කොට සංශෝධන සිදු කිරීමට තවදුරටත් කාලය අවශ්‍යයි - විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කමිටුවට යෝජනාවක්

 

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.

මේ සඳහා අනුමතිය හිමි වූයේ මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මනිත්‍රී ගරු ලලිත් වර්ණකුමාර මහතාගේ සභාපතිත්වයෙන් අද (ජන. 22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මේ අනුව හෙට (23) මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම රැස්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ රාජ්‍ය නොවන සංවිධානවල ජාතික ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීහු සම්බන්ධ වූහ. එසේම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වන ගරු ගයන්ත කරුණාතිලක, ගරු ජයන්ත කැටගොඩ, ගරු සංජීව එදිරිමාන්න, ගරු ජගත් සමරවික්‍රම සහ ගරු එස්. එම්. එම්. මුෂාරෆ් යන මහත්වරු සහභාගී වූහ. එසේම කාරක සභාවේ සභාපතිවරයාගේ අනුමතිය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ඉරාන් වික්‍රමරත්න සහ ගරු චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුද සහභාගී වූහ.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ගරු ගයන්ත කරුණාතිලක, ගරු ඉරාන් වික්‍රමරත්න සහ ගරු චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරු මෙම පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කොට සංශෝධන සිදුකිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කරුණු සංශෝධනය විය යුතු බවත් කමිටුවට පෙන්වා දුන්නේය. මේ නිසා මෙම පනත් කෙටුම්පත ඉක්මනින් පාර්ලිමේන්තුවේදී සම්මත නොකොට තවදුරටත් කාලය ලබාගැනීම වැදගත් බව ඔවුහු පෙන්වා දුන්හ.

මේ අනුව මෙම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුවත් කිරීම සිදුකරන බව කාරක සභාවේ සභාපතිවරයා විසින් මෙහිදී සඳහන් කරන ලදි.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි