ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයීය පනත් කෙටුම්පත සහ තවත් පනත් කෙටුම්පත් දෙකකට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

දිනය : 2024-01-05

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයීය පනත් කෙටුම්පත, සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමථකරණය තුළින් ඇති වන්නාවූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් තුන සඳහා ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.

මේ සඳහා අනුමතිය හිමි වූයේ ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජන. 02) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී ය.

මෙම රැස්වීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය සහ සමථ මණ්ඩල කොමිෂන් සභාව යන ආයතනවල රාජ්‍ය නිලධාරීන් සහ නියෝජිතයන් සහභාගී විය.

මෙහිදී ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය මගින් සිදුකරනු ලබන කටයුතු පිළිබඳව සහ එහි සාමාජිකයින් පත් කිරීම පිළිබඳව කමිටුව විසින් දීර්ඝව සලකා බැලීම සිදු කෙරිණි. මේ අනුව මෙම කාර්යාලය සඳහා සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශයක් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත දැනුවත් කිරීමට කාරක සභාව වසින් මෙහිදී තීරණය කරන ලදි.

එසේම පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ග්‍රාමීය මට්ටමෙන් සහජීවන සමාගම් පිහිටුවා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කොට ඇති බවයි. ග්‍රාමීය මට්ටමෙන් ගැටුමක් ඇති විය හැකි නම් ඒවා පිළිබඳව මුල් අවස්ථාවේදීම දැනුවත් වී ඒවා විසඳාගැනීම සඳහා පෙර සූදානම්වීම මෙම කාර්යාලය මගින් අරමුණු කරන බව ද නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මීට අමතරව සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පතට සහ සමථකරණය තුළින් ඇතිවන්නාවූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීමේ පනත් කෙටුම්පතට ද කාරක සභාව සලකා බැලීමෙන් අනතුරුව අනුමතිය හිමි විය.

මෙම කාරක සභාව සඳහා ගරු ජී.ජී. පොන්නම්බලම් සහ ගරු ගෙවිඳු කුමාරතුංග යන මන්ත්‍රීවරු සහභාගී වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි