ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සමූපකාර ව්‍යාපාරය ආරක්ෂා කිරීමට පළාත් සභා නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්වවල සහභාගීත්වයෙන් කමිටුවක්

දිනය : 2023-12-21

  • දෙහිවල ගල්කිස්ස සමූපකාර සමිතියට අයත් වත්කම් මූල්‍යනය කිරීමෙන් තැන්පත්කරුවන්ගේ  මුදල්  නැවත ලබාදීමට කාරක සභාවේ අවධානය

 

සමූපකාර ව්‍යාපාරය ආරක්ෂා කිරීමට පළාත් සභා නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්වවල සහභාගීත්වයෙන් කමිටුවක්  පත් කිරීමට බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරනු ලැබීය.

මේ පිළිබඳ තීරණය කරනු ලැබුවේ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී ලොකුගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

තවද සමූපකාර බැංකු සඳහා මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ගෙවීම පිළිබඳ සාකච්ඡා වූ අතර දෙහිවල - ගල්කිස්ස සමූපකාර සමිතිය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය විසඳීමට සණස සම්මේලනය හා හෝමාගම විවිධසේවා සමූපකාරයේ සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙස  කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.

එසේම මෙම කාරක සභාව අවස්ථා කිහිපයකදී රැස්වීමෙන් අනතුරුව මෙරට ආර්ථික අර්බුදයේ බලපෑම, සමූපකාර සමිතිවල වංචා දූෂණ, නිලධාරීන් විසින් ගත් අදූරදර්ශී තීරණ සහ ගිණුම් විගණනයක් නිසි කාල සීමාවලදී සිදු නොකිරීම යන කරුණු 4 හඳුනාගත් බව කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.

එසේම සමූපකාර ව්‍යාපාරය සම්බන්ධයෙන් සකස් කළ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කෙටුම්පත් කරන ලද පනත සහ තවත් වාර්තා දෙකක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණි. මේ අනුව මෙම වාර්තා 3 මත පිහිටා සමූපකාර ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් එක් වාර්තාවක් සකස් කිරීමට සියලු පළාත් සභා නියෝජනය කරන නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්වවල සහභාගීත්වයෙන් අනු කමිටුවක්  පත් කරන ලදී. මෙම අනු කමිටුව ලබා දෙන වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මෙහිදී කාරක සභාව පෙන්වා දෙන ලදී.

මෙම කමිටුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු උදය ගම්මන්පිල, ගරු යදාමිණී ගුණවර්ධන සහ ගරු බී.වයි.ජී. රත්නසේකර යන මහත්වරු සහභාගී වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි