ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් සංවේදී වූ රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමට සහය වෙන්න - ආබාධ සහිත තැනැත්තන්ගෙන් පාර්ලිමේන්තු සංසදයට ඉල්ලීමක්

දිනය : 2023-12-20

  • ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා
  • දෙසැම්බර් මස සිට ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් රියදුරු බලපත්‍ර ලබාදීමට අවසර
  • 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත පරිච්ඡින්න කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ අවධානය

 

ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් සංවේදී වූ රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමට සහය වන ලෙස  ආබාධ සහිත තැනැත්තන් විසින් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් ඉල්ලා සිටීම සිදු කරන ලදි.

මෙසේ  ආබාධ සහිත තැනැත්තන් විසින් ඉල්ලා සිටියේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත පරිච්ඡින්න කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දීර්ඝ වශයෙන් සංසදයේ අවධානය යොමු වූ අතර ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ඒකාබද්ධ පෙරමුණ සහ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මේ සඳහා සහභාගී විය.

මෙහිදී යෝජිත නව පනත් කෙටුම්පතට අනුව ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කොම්ෂන් සභාවක් පිහිටුවීම පිළිබඳ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් පැමිණි පිරිස පෙන්වා දුන්හ.
 
මෙහිදී සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේ ඉක්මනින්ම මෙම යෝජිත නව පනත් කෙටුම්පත පිළිබඳ අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බවත් එසේම ගරු ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ පුලුල් සාකච්ඡාවක් ආබාධ සහිත තැනැත්තන්ගේද සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීමට කටයුතු කරන බවත් ය.

එසේම මේ මස (දෙසැම්බර්) සිට ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා අවසර ලබාදී ඇති බවද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේය.

මේ සඳහා සංසදයේ සාමාජික මන්ත්‍රීවරුන් වන ගරු මධුර විතානගේ සහ ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. එසේම සභාපතිවරයාගේ අවසරය මත රාජ්‍ය අමාත්‍ය ගරු අනූප පස්කුවල් සහ ගරු (මේජර්) සුදර්ශන දෙණිපිටිය යන මහත්වරු සහභාගී වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි