ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුව ජාතික සභා අනුකාරක සභාවේදී නැවත සලකා බැලේ

දිනය : 2023-12-13

  • 2022 වර්ෂය වන විට ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව 79 වැනි ස්ථානයේ

 

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුව කෙටි,මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡාවට ගැණුනි.

ජනාධිපති ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් පවතින ජාතික ආහාර ප්‍රතිපත්ති කමිටුව හා ඒකාබද්ධ ක්‍රමවේදයකට අනුකූලව ප්‍රතිපත්ති ස්ථාපනය කිරීම පිළිබඳ මෙම සාකච්ඡාව පැවැත්විණි.

කෙටි,මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (දෙසැ. 08) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම සංකල්පීය ප්‍රතිපත්ති රාමුව පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

තවද, 2022 වන විට ආහාර සුරක්ෂිතතාව අතින් ශ්‍රී ලංකාව 79 වැනි ස්ථානයේ පසුවන බවද කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කළ නිලධාරීන් අනාවරණය කළේය.

වගා නොකළ ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමේ හැකියාව ද කමිටුව විසින් මෙහිදී සලකා බලන ලද අතර මේ පිළිබඳ අධ්‍යයනයක් කරන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

එසේම සංශෝධිත ආහාර සුරක්ෂිතතාව (කෘෂිකාර්මික, සත්ව නිෂ්පාදන සහ ධීවර) පිළිබඳ සංකල්පීය රාමුව පිළිබඳව ජාතික ආහාර ප්‍රතිපත්ති කමිටුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා අංශය සහ ආහාර සුරක්ෂිතතාව (කෘෂිකාර්මික, සත්ව නිෂ්පාදන සහ ධීවර) පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා ජාතික සභා අනු කමිටුව විසින් පත් කරන ලද ක්‍රියාකාරී කමිටුව සමග මෙහිදී සාකච්ඡා කෙරුණි.

ආහාර සුරක්‍ෂිතතාව (කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අසංක නවරත්න මහතාගේ සභාපතිවරයාගේ යුත් ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලද අතර මෙම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා උක්ත කමිටුව මාස අටක පමණ කාලයක් රැස්ව තිබුණි.

රට තුළ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා මධ්‍යම හා දිගුකාලීන අදහස් මාලාවක් ඇතුළත්  මෙම සංකල්පීය ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා වාරිමාර්ග අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වැවිලි අමාත්‍යාංශය, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය, වන හා සංරක්ෂණ අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු විවිධ අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සහ වයඹ පළාතේ කෘෂිකර්ම අමාත්‍යාංශය මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ආහාර හා කෘෂිකර්ම සංවිධානය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දායක වී තිබේ.

ඒ අනුව පැවති සාකච්ඡාවලින් අනතුරුව ජාතික සභා අනුකාරක සභාවේ සභාපති නාමල් රාජපක්ෂ මහතා නිර්දේශ කළේ සාකච්ඡා කර ඇති තොරතුරු ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කොට ඔවුන්ගේ අදහස්ද ඇතුළත් වූ  අවසන් කරන ලද වාර්තාව 2024 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පියවර ගන්නා ලෙසයි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසංක නවරත්න, කපිල අතුකෝරල, ඩී. වීරසිංහ, සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි