ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (SGBV) විසඳීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැළැස්ම ඉදිරිපත් කෙරේ

දිනය : 2023-12-12

  • 2023 වසරේ මේ දක්වා විවිධ හිංසනයන්ට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූ කාන්තාවන් පිරිස විසි දහස ඉක්මවයි

 

කාන්තාවන්ට එරෙහි ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (SGBV) විසඳීම සඳහා වූ බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කරමින් එහි අන්තර්ගතයන් පිළිබඳ සාකඡාකිරීම සඳහා විශේෂ වැඩමුළුවක් 2023.12.08 වන දින කොළඹ දී පැවැත්විණි.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය සහ ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මියගේ  ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

නිවස  තුළ කාන්තාවන්ට සිදුවන ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීම මෙන්ම  රැකියා ස්ථානය තුළ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන  හිංසන වළක්වා  ගැනීමට  මෙම සැළසුම් ඔස්සේ ප්‍රයෝගිකවම  ක්‍රියාත්මක වියයුතු බව මෙහිදී අදහස් දක්වමින් එම මන්ත්‍රීවරියන් පැවසුහ.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වෛද්‍ය නෙතාංජලී මාපිටිගම මහත්මිය  ගර්භණි  කාලය තුළ  මෙරට  කාන්තාවන් සැලකිය යුතු පිරිසක්  හිංසනයන්ට ලක්වන බව පෙන්වා දුන්නාය. මෙම වසර තුල දැනට  විවිධ හිංසනයන්ට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූ කාන්තාවන් පිරිස විසි දහස ඉක්මවන බව සංඛ්‍යා දත්ත  ඉදිරිපත් කරමින් ඇය  වැඩි දුරටත් පැවසුවාය.
 
කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙම බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම අංශ 18ක් කේන්ද්‍ර කරගනිමින් අමාත්‍යාංශ 13ක විෂයයපතයන්ට අදාළව සකස් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ උපදේශක ශ්‍රියානි පෙරේරා මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) උපදේශක වෛද්‍ය ලක්ෂමන්  සේනානායක මහතා විසින් මෙම ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (SGBV) විසඳීම සඳහා වූ  ජාතික ක්‍රියාකාරී සැලැස්මේ අන්තර්ගතය පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කරන ලදී. අනතරුව වැඩමුළුව සඳහා සහභාගිව සිටි පිරිස් හට මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්මට  ඔවුන්ගේ නව අදහස් හා යෝජනා ලබාදිමටද අවස්ථාව ලබාදෙන ලදී.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) විසින් සංවිධානය කල මෙම වැඩමුළුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මංජුලා දිසානායක, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය ලේකම් යමුනා පෙරේරා යන මහත්මීන් මෙන්ම තවත් සංවිධන කිහිපයක නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

 

1 3

4 16

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි