ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

උසස්වීම් ලබාදීමේදී කාන්තා පොලිස් නිලධාරිනියන්ට සිදුව ඇති අසාධාරණය වහා නිවැරදි කරන්න - පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නිර්දේශ කරයි

දිනය : 2023-12-10

  • දැනට පොලිස් සේවයේ භට සංඛ්‍යාවෙන් 15% කට වැඩි පිරිසක් කාන්තා නිලධාරිණියන්
  • බඳවා ගැනීම, පුහුණුව, රාජකාරියේ යෙදවීම හා විශ්‍රාම යාම එක සමාන වුවත් උසස්වීම් ලබා දීමේදී පමණක් කාන්තා නිළධාරිණියන්ට අසාධාරණයක් සිදුවෙනවා - කාන්තා නිලධාරිණියන්ගෙන් චෝදනා

 

ශ්‍රී ලංකා පොලිස් සේවයේ උසස්වීම් ලබාදීමේදී පොලිස් නිලධාරිනියන්ට අසාධාරණයක් සිදුව ඇතැයි ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අනාවරණය විය.

මේ කරුණු අනාවරණය වූයේ උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (විශේෂඥ වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (දෙසැ. 07) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මේ වන විට මුළු සේවා කාලය වසර විසි හයක් සම්පූර්ණ කර ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ වසර හතරක් සම්පූර්ණ කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් 92ක් රාජකාරියේ යෙදී සිටියත් ඔවුන්ගේ උසස්වීම් සම්බන්ධව නිශ්චිත ක්‍රමවේදයක් හෝ පුරප්පාඩු හඳුනා ගැනීමක් මෙතෙක් සිදුකර නැති බව මෙහිදී අනාවරණය විය. මෙම කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමේ ක්‍රමවේදය, වැටුප් තලය පිරිමි නිලධාරීන් හා එක සමාන ආකාරයකට වන අතර පුහුණුව කිසිදු වෙනසක් නොමැතිව එකම පුහුණු පාසැලක එකට සිදුකරන බවත් පුහුණුවෙන් පසු රාජකාරී යෙදවීමද වෙනසකින් තොරව එකම ආකාරයට සිදුකරන අතර විශ්‍රාම යාමේ ක්‍රමවේදයද එකම ක්‍රමයකි. නමුත් පිරිමි නිලධාරීන්ට උසස්වීම් ලබා දීමේදී පුරප්පාඩු සම්බන්ධව ගැටලුවක් ඉදිරිපත් නොවන අතර කාන්තා නිලධාරීන්ට පමණක් මෙම පුරප්පාඩුව සම්බන්ධ ගැටලු සෑම අවස්ථාවකම මතුවෙන බව අගතියට පත් පොලිස් නිලධාරිනියන් විසින් පෙන්වා දෙන ලදී.

ඒ සඳහා පිළියමක් ද මෙතෙක් සකස්කර නැති බවත් මේ හේතුව නිසා ජේෂ්ඨත්වය අඩු පිරිමි නිලධාරීන් උසස්වීම් ලබද්දී කාන්තා නිලධාරිනියන්ට එකම තනතුරේ දීර්ඝකාරයක් රැඳී සිටීමට සිදුව ඇති බවද මෙහිදී අනාවරණය විය.

එමෙන්ම මෙම ගැටළු තත්ත්වය මගහරවා ගැනීමට ශ්‍රී ලංකා පොලිසියේ බට සංඛ්‍යාවෙන් 15%කට වැඩි පිරිසක් කාන්තා නිලධාරිනියන් වන හෙයින් සියලු තනතුරුවල ඒ ඒ තනතුරු වශයෙන් 15%ක කාන්තා නියෝජනයක් සඳහා පුරප්පාඩු ඇති කිරීමට මෙහිදී යෝජනා කෙරිණි.

දැනට පවතින ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කර ගැනීමට එක අවස්ථාවකට බලපාන පරිදි යම් උසස්වීම් ක්‍රමවේදයක් සකස් කිරීම, ඉහත ක්‍රමවේදය හෝ වෙනත් සුදුසු ක්‍රමවේදයක් සකස් කර ඒ ඒ තනතුරුවලට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති නිලධාරිනියන් තනතුරු වලට පත්කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම, සහ නිශ්චිත ක්‍රමවේදයකට නිශ්චිත කාල පරාසයක් තුළදී උසස්වීම් ලබාදීමට සාධාරණ ක්‍රමවේදයක් සකස් කිරීම යන කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දුන්නේ නව පුරප්පාඩු නිර්මාණය කර ගැනීමේ කරුණු ඇතුළත් යෝජනා කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බවයි.

මෙහිදී කාරක සභාවේ සභාපතිනිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරියට නිර්දේශ කළේ දැනට පොලිස් සේවයේ භට පිරිස් මුලු ප්‍රමාණයෙන් 15%ක් නිලධාරිනියන් සේවයේ යෙදෙන බැවින් දැනට පවතින පුරප්පාඩු වලින් 15%ක් කාන්තා නිලධාරිනියන් වෙනුවෙන් වෙන් කොට මේ ගැටළුව විසඳන ලෙසයි.

මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ප්‍රිශාන්ති මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි