ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අලි මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම, පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කෙරේ

දිනය : 2023-12-09

  • අලි මිනිස්  ගැටුමට  විසඳුම වන්නේ  ප්‍රජාව මුල් කරගත්  විදුලි වැට හා කුඹුරු ආරක්ෂා කරන කාලීන විදුලි වැට ඉදිකිරීමයි -  අලි මිනිස් ගැටුම් ක්‍රියාකාරී සැලැස්මේ නිර්මාපකයින්  කාරක සභාවට දන්වයි.  

 

අලි මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව  2023.11.28  වැනි  දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී අලි මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම සහ අධීක්ෂණය  කිරීම සඳහා පත්කළ කමිටුවේ සභාපති ආචාර්ය සුමිත් පිලපිටිය මහතා සහ වනජීවී විද්‍යාඥ  ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා විසින් මෙම සැලැස්ම කාරක සභාව හමුවේ ඉදිරිපත් කරන ලදී.

2022 වසර තුල මෙරට වන අලින් 433දෙනෙකු මියගොස් ඇති බව මෙහිදී අනාවරණය විය. වනජීවී  විද්‍යාඥයින්  විසින් කාරක සභාව හමුවේ  කරුණු දක්වමින් මෙරට භූමියෙන් 62%ක් වූ ප්‍රදේශයක වන අලි  ව්‍යාප්ත වී ඇති බව පෙන්වා දෙන ලදී. අලි මිනිස් ගැටුම් අවම කිරීමට විදුලිවැට ඉදිකිරිම පර්යේෂණාත්මකව  සිදුකළ යුතු බව එම නිලධාරීහු පෙන්වා දුන්හ. ඒ අනුව අලි මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීමේදී  මුලිකවම ප්‍රජාව මූලික කරගත් ග්‍රාමීය විදුලි වැටත් කුඹුරු ආරක්ෂා කිරීම උදෙසා කාලීන  විදුලි වැටත්  ලෙසින් විදුලි වැටවල් ඉදිකිරීම  සුදුසුම විසඳුම ලෙස අදාළ කමිටුව විසින් හඳුනාගෙන ඇති බව පෙන්වා දෙන ලදී.

ඒ අනුව මෙම අලි වැටවල් ඉදිකිරීමට ප්‍රථමයෙන් අදාළ ප්‍රදේශවල ජනතාවට අලින්ගේ හැසිරීම්, හා පුද්ගලයින්ගේ චර්යාවල සිදුවිය යුතු වෙනස්කම් ආදී කරුණු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළයුතු බව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය. ප්‍රජාව දැනුවත් කිරීම සඳහා තමන්ට කළ හැකි වැඩසටහන් පිළිබඳව කාරක සභාවට දැනුම් දෙන ලෙස එදින කාරක සභාව අවස්ථාවට පැමිණ සිටි වනජීවී හා පරිසර සංවිධාන වලින්  කාරක සභා සභාපතිවරයා ඉල්ලා සිටින ලදී. දැනුවත් කිරීමට අලි මිනිස් ගැටුම්  පවතින ප්‍රදේශ  නිවැරදිව හඳුනාගෙන තොරතුරු ලබා දෙන්නේනම්  ඒ සඳහා තම දායකත්වය ලබාදිය හැකි බව වනජීවී හා පරිසර සංවිධාන නියෝජිතයින් මෙහිදී   පවසන ලදී.

අලි මිනිස් ගැටුම් අවම කිරීමටනම් ඉඩම් පරිහරණ කිරීමේ ජාතික සැලැස්මක්  අවශ්‍ය බව කමිටුව හමුවේ අදහස් දක්වමින් විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය. ග්‍රාමීය මට්ටමින් වන අලින් සැරි සරන ප්‍රදේශය නිවැරදිව හඳුනාගැනීමේ වැදගත්කමද, අලි මිනිස් ගැටුම දැඩිව පවතින  ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ හඳුනාගැනීමේ වැදගත්කමද,අලි සංගණනයක් කිරීමේ පරමාර්ථය වැඩිපුර සිටින අලි ඇතුන් අපනයන කිරීම නොවන බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ අවස්ථාව සඳහා   කාරක සභා සමාජිකයින්  වන ගරු වරුණ ලියනගේ,ගරු තිලක් රාජපක්ෂ සහ කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත ගරු චන්දිම වීරක්කොඩි,ගරු චින්තක අමල් මායාදුන්නේ යන මහත්වරුන් මෙන්ම  වනජීවී අධ්‍යක්ෂ ජනරාල්  ඇතුලු  නිලධාරීන්ද වනජීවී හා පරිසර සංවිධාන  කිහිපයක  ක්‍රියාකාරීහු  රැසක් ද සහභාගී වී සිටියහ.

 

5 11

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි